ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

සුප් කෝප්පය තුළ මැරුණු මීයෙකු සිටීම නිසා අවන්හලකට වැඩ වරදී

ගැබිනි කාන්තාවක් මිලදී ගත් සුප් කෝප්පය තුළ මැරුණු මීයෙකු සිටීම නිසා චීනයේ සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක වෙළෙඳ වටිනාකම අඩුවී ඩොලර් මිලියන 190ක් පාඩු ලබා තිබේ. චොප්ස්ටික් මගින් සුප් කෝප්පයේ තිබී මීකුණ ඉවතට ගත් ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය තුළ ඉතා වේගයෙන් පැතිරීමත් සමග, හොට්පොට් නැමැති ආහාරය විකුණන Xiabu Xiabu නැමැති අවන්හල් ජාලයේ කොටස් වෙළෙඳපොළ වටිනාකම වසරක් ඇතුළත සටහන් වූ අවම අගය වාර්තා කළේය.

ෂැන්ඩොන්ග් පළාතේ පිහිටි මෙම අවන්හල සිද්ධියෙන් පසුව තාවකාලිකව වසා දමා තිබේ. සිද්ධියට මුහුණ දුන් කාන්තාවට වන්දි මුදලක් ලෙස යුවාන් 5000ක් ලබා දීමට අවන්හල් හිමියන් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

නමුත්, ‘මා’ ලෙස හඳුන්වා දුන් කාන්තාවගේ සැමියා ප්‍රාදේශීය පුවත් සේවයකට පවසා ඇත්තේ අවන්හල ලබා දුන් මුදල ඔහු ප්‍රතික්ෂේප කළ බවය. එමෙන්ම, වන්දි මුදල තීරණය කිරීමට පෙර සිය බිරිඳගේ ශරීරය සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම ගැබිනි කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සැප්තැම්බර් 6 වෙනි දින හොට්පොට් ආහාරයට ගැනීම සඳහා මෙම අවන්හලට ගොස් තිබේ. ඇය ඇණවුම් කළ ආහාරයෙන් කොටසක් අනුභව කිරීමෙන් පසු එහි තිබී මීයෙකුගේ මළකුණක් සොයාගෙන ඇත.

Dead rat in a soup at a Chinese hotpot restaurant

කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍ය ගැන දුක්වන්නේ නම් ගබ්සාවක් කර ගන්නා ලෙස ඔවුන්ට යෝජනා කරමින්, ඒ සඳහා යුවාන් 20,000ක් ලබා දීමට අවන්හලේ එක් සේවකයෙකු ඉදිරිපත් වූ බවට සැමියා චෝදනා කරයි.

තැම්බී තිබූ මීකුණෙහි ඡායාරූප වෙයිබෝ (Weibo) නම් චීන සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වේගයෙන් පැතිරී ගිය අතර, බොහෝ පුද්ගලයන් සිය කෝපය සහ අකමැත්ත පළ කර තිබිණි.

“මට ඔක්කාරයට එනවා. මම නැවත කවදාවත් හොට්පොට් පිට තැන්වලින් කන්නේ නැහැ,” එක් සමාජ ජාල පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

සැප්තැම්බර් 11 වෙනිදා වනවිට හොට්පොට් අවන්හල් ජාලයේ කොටස් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු සටහන් වූ පහළම අගය වාර්තා විය. කෙසේවෙතත්, බදාදා (සැප්තැම්බර් 12) දින නැවතත් එය ඉතා සෙමින් ඉහළ යන අයුරු දක්නට ලැබිණි.

“Xiabu Xiabu මම කැමතිම අවන්හල්වලින් එකක්. මම හිතුවේ එය ඉතා පිරිසිදු තැනක් කියලා…. මට මේ දේ විශ්වාස කරන්නත් අමාරුයි,” තවත් සමාජ ජාල සටහනක සඳහන් වී තිබිණි.

“ඇයගේ දරුවාට මොනවා හරි සිදු වුණොත්, ඒ අය කොයි විදියටද වන්දි ගෙවන්නේ? ජීවිතයක් වටින්නේ යුවාන් 20,000ක් විතරද?,” තවත් පුද්ගලයෙකු අසා ඇත්තේය.

Dead rat in a soup at a Chinese hotpot restaurant
හොට්පොට් යනු චීනයේ සහ ආසියාවේ අනෙක් ප්‍රදේශවල බහුලව දැකිය හැකි ආහාරයකි

පිරිසිදු බව අඩු වීම නිසා හොට්පොට් තුළට මීයෙකු වැටීම “පිළිගන්නේ නැති” බව සෙනෙසුරාදා දින (සැප්තැම්බර් 8) අවන්හල නිකුත් කළ පළමු ප්‍රකාශයේ සඳහන් විය. නමුත් පසුව එය ඉවත් කරගෙන තිබෙනු දක්නට ලැබිණි.

Xiabu Xiabu අවන්හලේ මීයෙකු සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව එම ප්‍රදේශයේ නිලධාරීයෝ පැවසූහ.

හොට්පොට් යනු චීනයේ සහ ආසියාවේ අනෙක් ප්‍රදේශවල බහුලව දැකිය හැකි ආහාරයකි.

ඉතා උණුසුම් සුප් භාජනයක් මේසය මත තබන අතර, ඒ වටා තබා ඇති විවිධ වර්ගයේ එළවලු සහ අමු මස් වර්ග එකී භාජනයට දමා පිස ආහාරයට ගත යුතුය.