ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුව යළි විභාගයට
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද(31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගයට ගැණුනි.
මෙහිදී ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ හිටපු සහකාර පාලක නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.
අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව එම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරුණි. වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 19 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය රජය සමයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය මෙම නඩුව පවරා තිබේ.