ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බන්ධනාගාර වාට්ටුවේ දුරකථන 3ක් හා සිම් 5ක් හමුවෙයි – ඇලෝෂියස්ගේ කොට්ටෙ යටත් දුරකථනයක්.

බන්ධනාගාර නිලධාරින් විසින් 2018 ජූනි මස 29 වන දා පස්වරු 2 ට පමණ බන්ධනාගාරයේ ඉහත නම් සඳහන් සැකකරුවන් රඳවා තිබෙන වාට්ටුව පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබු ජංගම දුරකථන 3 ක් සිම් කාඩ් පත් 5 ක් හමුවි ඇත. එම දුරකථන අතරින් එක් දුරකථනයක් අර්ජුන් ඇලෝෂියස් මහතා නිදා ගන්නා කොට්ටය හා මෙට්ටය අතර සඟවා තිබු බව ද වාර්තාවේ.

අද(05) නඩුව කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසර් ජෙනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කරුණු දක්වමින් අධිකරණයට මේ බව අනාවරනය කලේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් ලබන 19 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස් මහතාව සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගත වීම නවත්වන නියෝගයක් ද අධිකරණය විසින් මෙහිදී ලබා දී තිබේ. ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස්, ජෙෆ්රි ඇන්ටන් ඇලෝෂියස්, චිත්‍ර රංජන් හුළුගල්ලේ, පුෂ්පචන්ද්‍ර ගුණවර්ධන, මුතුරාජ සුරේන්ද්‍රන්, ආචාර්ය ගාර්ඩියල් පුංචිහේවා යන පුද්ගලයින්ට මෙලෙස අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කර ඇත.