තැපැල් වර්ජනය වසංගතයක් කර නොගෙන විසඳුම් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි – ලාල් කාන්ත
තැපැල් සේවක වර්ජනය වසංගතයක් කර නොගෙන ඊට කඩිනමින් විසඳුම් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(23) අවධාරණය කළේය. තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණ බව විෂයභාර අමාත්‍යවරයා පවා පිළිගත්තද එම ගැටළු විසඳීමට යාන්ත්‍රණයක් නොමැති බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. ලාල් කාන්තා මහතා මේ බව සඳහන් කළේ තැපැල් සේවක වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහය පළකරමින් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට උපවාසයට සහභාගී වෙමිනි.
“වැඩවර්ජනයේ නිරත වෙලා ඉන්න තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණ බව ඇමති පිළිගන්නවා. නමුත් දැන් මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක ගැන බලන්න වගකිව යුත්තෙක් නැහැ. දැන් කාටද මේ ප්‍රශ්නය කියන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇමති ජනතාවගේ පැත්තේ. අලි ප්‍රශ්නෙදිත් එහෙමනේ. ඇමති ජනතාවගේ පැත්තේ. හැම තැනකම දැන් සිද්ධ වෙන්නේ එහෙම. හැබැයි එතනින් එහාට මේ ප්‍රශ්නය විසඳන්න යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ වර්ජනයෙන් විශාල බලපැමක් වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ මේක වසංගතයක් කරගන්නේ නැතුව විසඳන්න.
මේ වගේ වේලාවක ආණ්ඩුවට විවිධ උපක්‍රම තියෙන්නේ පුළුවන්. මේවා පෞද්ගලිකරණය කරන්න ඕනේ, ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ වගේ අදහස් ජනතාව අතරට අරගෙන යන්න පුළුවන්. ඒ දේවල් ගනත අවධානය යොමු කරන්න වෙනවා.”
කෙසේවෙතත් මෙවැනි අරගල කෙළවර වූයේ ජයග්‍රහණයෙන් බවත් මෙම අරගලයත් ජයග්‍රහණයෙන් කෙළවර කරන බවත් ලාල් කාන්තා මහතා කියා සිටියේය.


