ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

සන්ධ්‍යාට උසාවියේදී බැනවැදී තර්ජනය කිරීමේ වරදට ඥානසාර හිමිට දඬුවම් නියම කිරීම අද.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන දඬුවම පිළිබඳ තීන්දුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් අද(14) ප්‍රකාශයට කිරීමට නියමිතය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ පසුගියදා නිගමණය කර තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය.

හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින් අද(14) උදෑසන ඥානසාර හිමියන්ට නියම කරන දඬුවම ප්‍රකාශ කරනු ලැබීමට නියමිතය. ඒ වෙනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.