රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වන එජාප මන්ත්‍රීවරු මෙන්න…!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ඉඩ තිබෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කවුරුන්දැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ සහාය නොමැතිව මෙම විශ්වාස භංගය ජයග්‍රහණය කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට අසීරු කටයුත්තක් වී තිබෙන පසුබිමක් තුලය.
කෙසේවුවද පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පත්වූ පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය අමාත්‍යවරුන් ද විජේදාස රාජපක්ෂ, චතුර සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එජාප ජාතික ලැයිස්තුවෙන් පත්වූ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ද විශ්වාස භංගයට පක්ෂවීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වේ.
මේ අතර ‘බීබීසී සිංහල සේවය’ මතු කළ ඒ පැනයට සිනහ සෙමින් ප්‍රතිචාරය පළ කළ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා, “දැනට කිසිසේත්ම බැහැ එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි,” යනුවෙන් පැවසිය.
“එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් ප්‍රසිද්ධ කළ ගමන්ම අද ඉඳල 04 වෙනිද දක්වා ඒ නම පස්සේ දුවන එක තමයි කරන්නේ.” යයි ද ඔහු පැවසිය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද පසුගියදා පක්ෂ නායකත්වය දැඩි විවේචනයට ලක් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දරන මතය දැනගැනීම පිණිස ඔහු ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බව බීබීසී සිංහල සේවය පවසයි.
එහෙත් යෝජනාව භාරදීමට ප්‍රථම කළ විමසීමකදී ඔහු කියා සිටියේ යෝජනාවේ අන්තර්ගතය සලකා බලා ඒ පිළිබඳ තීන්දුවකට එළඹෙන බවය.