ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

අනාථ කඳවුරුවල විකිණෙන රෝහින්ග්‍යා කෙල්ලෝ

ප්‍රහාරවලින් බේරීමට මියන්මාරයෙන් පළාවිත් බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන බාල වියේ යොවුන් රෝහින්ග්‍යා දැරියන් ගණිකා වෘත්තියට විකුණනු ලැබීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව බීබීසිය විසින් සිදු කරන ලද ගවේෂණයකින් හෙළිදරව් විය.

ලිංගික පහස සොයා එන විදේශිකයන්ට රෝහින්ග්‍යා දැරියන් ගොදුරුකර ගැනීම ඉතා පහසු දෙයක් බවට පත්ව ඇතැයි බීබීසී ගවේෂණ වාර්තාව පවසයි.

දාහතර හැවිරිදි ‘අන්වරා’ (Anwara)මැරයන් විසින් සිය දෙමව්පියන් මියන්මාරයේ දී මරා දමනු ලැබීමෙන් අනතුරුව පිහිටක් පතා බංග්ලාදේශය කරා පළා යමින් සිටි සෙසු ජනයාට එක් වූ අනාථ දැරියකි.

“ගැහැණුන් කණ්ඩායමක් වෑන් රියකින් ආවා. ඔවුන් සමඟ යන්න කැමතිද? කියල ඔවුන් මගෙන් ඇහුවා” අන්වරා පවසන්නීය.

ඇරයුමට එකඟ වූ ‘අන්වරා’ එම කාන්තාවන් විසින් වෑන් රියට පටවා ගනු ලැබුණි.

අලුත් ජීවිතයක් සඳහා මග සලසන බවට කාන්තාවන් අන්වරාට පොරොන්දුවක් දුන්නත් ඔවුන් ඇය රැගෙන ගියේ නියමිත ස්ථානයට නොව ඒ ආසන්නයේම පිහිටි ‘කොක්ස් බෂාර්’ (Cox’s Bazar) නගරයටය.

“වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. ඒ කාන්තාවෝ පිරිමි ළමයි දෙන්නෙක් එක්ක ආවා. මම අවනත නොවූ නිසා ඔවුන් මට පහර දුන්නා. මගේ බඩට පයින් ගහල පිහියක් පෙන්නලා මාව දූෂණය කළා. මගේ අකමැත්ත නොතකා ඔවුන් මාව දූෂණය කළා” අන්වරා පවසන්නීය.

හත් ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා අනාථයෝ මියන්මාරයෙන් බංග්ලාදේශයට පළා ගියහ
Image captionහත් ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා අනාථයෝ මියන්මාරයෙන් බංග්ලාදේශයට පළා ගියහ

බංග්ලාදේශ් අනාථ කඳවුරුවල වෙසෙන කාන්තාවන් විකිණීමේ ජාවාරම පිළිබඳ කතන්දර රැසක් හෙළිදරව් වෙමින් පවතී.

ජාවාරම්කරුවන්ට වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ ළමුන් සහ කාන්තාවන්ය.

ළමුන් සහ කාන්තාවන් කම්කරු රැකියා සහ ලිංගික වෙළෙඳාමේ යෙදවීමේ අටියෙන් ඔවුන් අනාථ කඳවුරුවලින් එළියට ඇද ගැනීම සඳහා පොළඹවා ගැනීමට ජාවාරම්කරුවෝ සමත් වෙති.

ළමා ශ්‍රම සූරාකෑමට එරෙහි නීතිය ක්‍රියාවට නැංවීමේ ආයතනවලට උදව් පිණිස සහ ඔවුන් පුහුණු කිරීම සඳහා පිහිටුවන ලද ශුභසාධක සංවිධානයක් වන ‘සෙන්ටිනල් පදනම'(Foundation Sentinel) සමඟ බීබීසී කණ්ඩායමක් බංග්ලාදේශය බලා පිටත්ව ගියේ ඉහත කී ලිංගික වෙළෙඳාම පිටුපස ක්‍රියාත්මක වෙමින් ඇති සංවිධානාත්මක ජාල පිළිබඳව බොහෝ තොරතුරු අසන්නට ලැබීමත් සමඟය.

විදේශ රැකියා හෝ ‘ඩකා’ අගනුවර ගෘහසේවයේ එසේත් නැත්නම් මුළුතැන්ගෙයි රැකියා මෙන්ම හෝටල් කාර්ය මණ්ඩල රැකියා සපයන බවට ජාවාරම්කරුවන් තමන්ට පොරොන්දු වූ බව බීබීසියට අදහස් දැක්වූ රෝහින්ග්‍යා අනාථ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කළහ.

දරුවන් ලිංගික වෙළෙඳාම සඳහා යෙදවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ අනාථ කඳවුරුවල පවතින ව්‍යාකූල පරිසරයයි.

කිසිදු පිළිසරණක් නැතිව සිටින පවුල්වලට වඩාත් හොඳ තත්වයක් උදා කළ හැකි බවට පොරොන්දු දීම ජාවාරම්කරුවන්ගේ කෲර උපායක් වී ඇත.

තමා ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වූ ආකාරය දාහතර හැවිරිදි මසුදා (Masuda) මෙසේ විස්තර කළාය.

“මට තේරුණා මටත් සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියල. ගැහැනියක් මට රස්සාවක් යෝජනා කළා. කවුරුත් දන්නවා- ඒ ගෑණි ලිංගික කටයුතුවලට පුද්ගලයන් විකුණන බව. එයා දීර්ඝ කාලයක් බංග්ලාදේශයේ ජීවත්වෙන රෝහින්ග්‍යා ගැහැනියක්. නමුත් මට වෙනත් තෝරා ගැනීමක් තිබුණේ නැහැ.මට දැන් මෙහේ වෙන කරන්න දේකුත් නැහැ” මසුදා (Masuda) සඳහන් කළාය.

“මගේ පවුලේ අනිත් කවුරුත් අතුරුදහන්. මට සල්ලි නැහැ. මම මියන්මාරයේ ඉන්න කොටත් දූෂණය කිරීමට ගොදුරු වුණා. මම මගේ සහෝදරයයි -සහෝදරියයි එක්ක කැලේට ගිහින් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. ඒත් සෙල්ලම් කරන්නේ කොහොමද කියල මට දැන් මතක නැහැ” මසුදා සිය ඉරණම විස්තර කළේ එපරිද්දෙනි.

තමන්ගේ දරුවන් ගැන අනාගතයෙහි තොරතුරක් නොලැබේය යන භීතියෙන් ඇතැම් දෙමව්පියන් හඬා වැලපෙද්දී ,සිය දරුවන් කිසිදාක දකින්නට නැති වුනත්, ඔවුන්ට වඩාත් හොඳ හෙට දවසක් උදාවේය යන විශ්වාසය සහ බලාපොරොත්තුව සහිත තවත් දෙමව්පියෝ සතුටින් සිනාසෙති.

“කඳවුරෙන් පිටත ජීවිතය කොතැන වුනත් සැපයි” එක් මවක් ප්‍රකාශ කළාය.

එහෙත් ඔවුන්ගේ දරුවන් රැගෙන යන්නේ කවුරුන් විසින්ද? කොතැනකටද? ඔවුහු නොදනිති.

අනාථ කඳවුරකින් දැරියක් ලබා ගැනීම පහසු කාරණයක් වී ඇත
Image captionඅනාථ කඳවුරකින් දැරියක් ලබා ගැනීම පහසු කාරණයක් වී ඇත

ළඟදී බංග්ලාදේශයට පැමිණි විදේශිකයන් පිරිසක් යයි අඟවමින් කටයුතු කිරීම ළමා ලිංගික දඩයම සිදු කෙරෙන ආකාරය තහවුරු කර ගැනීම සඳහා බීබීසී ගවේෂකයන් විසින් අනුගමනය කරන ලද උපාය මාර්ගයක් විය.

පැය හතළිස් අටක මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශයේ ගණිකාවන් සපයන ‘පිම්පියන්’ගේ දුරකථන අංක ලබා ගැනීමට බීබීසී ගවේෂක මාධ්‍යවේදියෝ සමත් වූහ.

ඔවුන් ඉන් අනතුරුව පොලිසියත් දැනුවත් කරමින් ගත් පියවර වුණේ, විදේශිකයකු සඳහා විශේෂයෙන්ම රෝහින්ග්‍යා දැරියන් ඇතුළු යොවුන් දැරියන් සැපයීමට හැකියාවක් ඇද්දැයි එම පිම්පියන්ගෙන් විමසීමය.

“අපි ගාව බාල වයසේ කෙල්ලො ඉන්නවා. ඒත් ඇයි-රෝහින්ග්‍යා කෙල්ලොම හොයන්නේ? ඔවුන් හරිම අපිරිසිදුයි” එක් පිම්පියක් පැවසීය.

එය බීබීසී ගවේෂණය පුරා දිගින් දිගටම අසන්නට ලැබුණ පිළිතුරකි.

‘කොක්ස් බෂාර්’ කලාපයේ ගණිකා ධූරාවලිය තුළ රෝහින්ග්‍යා කෙල්ලන්ට අඩු ඉල්ලුමක් ඇති අතර අවශ්‍ය කෙනකුට ඔවුන් ඉතා අඩු මුදලකට ලබා ගත හැකිය.

සැබෑ ගැනුම්කරුවන් ලෙස අඟවමින් සිටි බීබීසී ගවේෂණශීලී මාධ්‍යවේදීන් සඳහා යුවතියන් සැපයීමට බංග්ලාදේශයේ ගණිකා සැපයුම් ජාලයක කොටසක් වෙමින් ක්‍රියාත්මක වෙන විවිධ මට්ටමේ පිම්පියෝ ඉදිරිපත් වූහ.

එම මාධ්‍යවේදීන්ට දැරියන්ගේ පින්තූර යොමු කළ පිම්පියෝ එම දැරියන් අවුරුදු 13-17 අතර වයසේ පසු වෙන බව දැනුම් දුන්හ.

එම දැරියන්ට තමන් අකැමැති බව දැනුම් දෙත්ම ඔවුහු මාධ්‍යවේදීන්ට තව තවත් බොහෝ කාන්තා පින්තූර යොමු කිරීමට පටන් ගත්හ.

එම දැරියන්ගෙන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ ගණිකා ජාවාරම් කරුවන්ගේ නිවෙස්වලමය.

ගනුදෙනු කරුවකු නොලද විට එම දැරියෝ නිවෙස් පිරිසිදු කිරීම සහ කෑම උයාදීම වැනි කාර්යයන්හි නිරත කරවනු ලැබෙති.

BBC ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් කරුණු විපරම් කරන අවස්ථාවක්
Image captionBBC ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් කරුණු විපරම් කරන අවස්ථාවක්

“කෙල්ලො අපි ළඟ වැඩි කාලයක් තියා ගන්නේ නැහැ. ඔවුන් සොයා ගෙන බංග්ලාදේශ් පුරුෂයන් ගොඩක් එනවා. ටික කලකින් ඔවුන්ට තියෙන ඉල්ලුම අඩු වෙනවා. බාල වියේ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා අපි ඔවුන් අයින් කරනවා” ගණිකා ජාවාරම්කරුවෙක් බීබීසී කණ්ඩායමට කියා සිටියහ.

බීබීසී කණ්ඩායම එම ගවේෂණයේ දී ලද තොරතුරු සහ පටිගත කරන සංවාද සාක්ෂි වශයෙන් බංග්ලාදේශ් පොලිසිය අතට පත් කර ඇත.

ජාවරම්කාර එක් පිම්පියෙක් වහාම හඳුනා ගැනීමට පොලිසිය සමත් විය.

“ඔහු අපි හොඳට දන්න තැනැත්තෙක්” එක් පොලිස් නිලධාරියෙක් පවසයි.

එම තැනැත්තා පොලිස් ඔත්තු කරුවෙක්ද? නැත්නම් අපරාධ කරුවෙක්ද? සිය ප්‍රකාශයෙන් සැබැවින්ම අදහස් කළේ කුමක්ද? යන්න පොලිස් නිලධාරියා පැහැදිලි කළේ නැත.

මේ අතර ගණිකා ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් ද දියත් කෙරෙමින් තිබුණි.

සැඟවී සිටින රෝහින්ග්‍යා දැරියක්Image copyrightGETTY IMAGES
Image captionසැඟවී සිටින රෝහින්ග්‍යා දැරියක්

මෙහෙයුම පෙරට

මෙහෙයුම දියත් කළ ගවේෂක මාධ්‍යවේදියෝ තමන් විසින් ඡායාරූප මගින් දුටු යුවතියන් දෙදෙනෙක් ‘කොක්ස් බෂාර්’හි මුල්පෙළේ හෝටලයකට රාත්‍රී අට වනවිට රැගෙන එන මෙන් එක් පිම්පියකුට ඇණවුම් කළහ.

‘සෙන්ටිනල් පදනම’සංවිධානයේ සාමාජිකයෙක් භාෂා පරිවර්තකයකුත් සමඟ ගැනුම්කරුගේ වේශයෙන් එම හෝටලය ඉදිරිපිට රැඳී සිටි අතර අසල පිහිටි රථගාලක වෙස්වලා ගත් පොලිස් භටයෝ සැඟව සිටියහ.

හරියටම රාත්‍රී අට උදාවෙත්ම පිම්පියා සහ ව්‍යාජ ගැනුම්කරු අතර දුරකථන කතාබහක් ආරම්භ වූ අතර ගැනුම්කරු හෝටලයෙන් පිටතට පැමිණීම දැරියන් සපයන්නාගේ ඉල්ලීම විය.

එහෙත් ව්‍යාජ ගැනුම්කරුවෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

අවසානයේ ගණිකාවන් සපයන්නා ව්‍යාජ ගැනුම්කරුවන් පින්තූර මගින් දැක සිටි යුවතියන් දෙදෙනෙක් රියැදුරකු සමඟ හෝටලය කරා එවීය.

මුදල් ගනුදෙනු නිම විය. අනතුරුව බීබීසී ව්‍යාජ ගැනුම්කරු රියදුරාගෙන් මෙසේ විමසීය.

“අද රාත්‍රිය සතුටුදායක වුනොත් අපට තවත් කෙල්ලන් සපයන්න පුළුවන්ද ?”

රියැදුරා ඊට එකඟවෙමින් හිස සෙලවීය.

පොලිසිය මතු වන්නේ ඒ මොහොතේය. තැරැව්කාර රියැදුරා පොලිස් අත්අඩංගුවට පත් විය.

ගැහැණු ළමුන් දෙදෙනා ළමා ආරක්ෂණ අංශයේ භාරයට පත් වූ අතර ජාවාරම් විපරම් කරන විශේෂඥයන් එම දැරියන්ගේ ආරක්ෂාව සැලසීම උදෙසා උපකාරී වූහ.

ඔවුන්ගෙන් එක් දැරියක් ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් කරා යාම ප්‍රතික්ෂේප කළ අතර තමාට වයස අවුරුදු 15 ක් යයි කියා සිටි දෙවැනි දැරිය සමාජ සුරැකුම් අංශයට යොමු කරනු ලැබුණි.

එම දැරියන් පෙන්නුම් කරන්නේ දුප්පත්කම සහ ගණිකා වෘත්තිය අතර කඳුළු කතාවයි.

බංග්ලාදේශයට ගලා ආ රෝහින්ග්‍යා අනාථ ජන රැල්ලImage copyrightREUTERS
Image captionබංග්ලාදේශයට ගලා ආ රෝහින්ග්‍යා අනාථ ජන රැල්ල

ලිංගික වෙළෙඳාම හැර තමන්ට හෝ තම පවුල්වලට වෙනත් පිහිටක් නොමැති බව ඔවුහු කියා සිටිති.

රෝහින්ග්‍යා දැරියන් විකිණෙන්නේ බංග්ලාදේශය තුළ පමණක් ද නොවේ.

දේශීය මට්ටමින් ‘ඩකා’ අගනුවර පටන් ‘චිතගොං’ තෙක් විකිණෙන එම දැරියෝ ඉන්දියාවේ ‘කොල්කටා’ සහ නේපාලයේ ‘කත්මණ්ඩු’ නගරවලටත් විකිණෙති.

ලිංගික වෙළෙඳාම සරුසාර වෙමින් පවතින ‘කොල්කටා’ නගරයට ගෙන යනු ලබන දැරියන්ගේ සැබෑ අනන්‍යතාව අහිමි කරමින් ඔවුන් වෘත්තීයගත කිරීම සඳහා ඉන්දීය හැඳුනුම් පත් පවා සපයනු ලැබේ.

ජාවාරම්කරුවන් ඔවුන්ගේ ගොදුරු බවක්ත පත් දැරියන් අන්තර්ජාලය ඔස්සේ විකුණනු ලබන ආකාරය ‘ඩකා’ අගනුවර සයිබර් අපරාධ පිළිබඳ පොලිස් ඒකකය පැහැදිලි කරයි.

විවෘත සහ අවිවෘත ‘ෆේස්බුක්’ කණ්ඩායම් ළමා ලිංගික ජාවාරම වසං කර තබා ගැනීමට මඟ සලසයි.

අන්තර්ජාලයේ සහ ඉන් පරිබාහිර යන අංශ දෙකේම ක්‍රියාත්මක පිම්පියන්, අතරමැදියන් සහ ප්‍රවාහන අංශයේ නිරතවූවන් ඇතුළත් බංග්ලාදේශ් ජාවාරම්කරුවන්ගේ ජාලයක් ලිංගික වෙළෙඳාම සඳහා ළමුන් සහ කාන්තාවන් සපයමින් ඇත.

බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ 'හලීමා'
Image captionබලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ ‘හලීමා’

බංග්ලාදේශයේ ලිංගික වෙළෙඳ ව්‍යාපාරය ආරම්භ වුණේ රෝහින්ග්‍යා අර්බුදය නිසා නොවේ.

එහෙත් එම අර්බුදයත් සමඟ බංග්ලාදේශය තුළට ගලා පැමිණි රෝහින්ග්‍යා අනාථ ජන රැල්ලත් සමඟ ළමුන් සහ කාන්තා ලිංගික ශ්‍රම සැපයුම ඉහළ ගියේය.

එසේම ඒ සමඟ ගණිකාවන් සඳහා පැවති ඉල්ලුම කිසිදාක නොවූ මට්ටමින් ඉහළ ගිය අතරම ගණිකාවගේ මිලෙහි පහළ වැටීමක් සිදු විය.

සබැඳි පුවත්;

(BBC)