ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘නීතිය හා සාමය’ අගමැතිවරයා යටතට ගෙන තිබෙන්නෙ හොරු අල්ලන්න නොවේ; හොරු රකින්නයි

මේ ආණ්ඩුවට එල්ල වූ ප්‍රධාන චෝදනා අතර අංක එක බැඳුම්කර මගඩියයි. එහි ප්‍රධාන චූදිතයා බවට පත්වන්නේ අගමැතිවරයායි. එවැනි තත්ත්වයක් තිබියදී නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැතිවරයා යටතට ගෙන තියෙන්නෙ හොරු අල්ලන්න දඬුවම් දෙන්න නෙවෙයි. හොරු රකින්න. ඔවුන් ආරක්ෂා කරන්න” යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.

ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය සහ රටේ අනාගතය පිළිබඳ පසුගිය (26දා) කළුතර පැවති මාධ්‍ය හමුවකදී නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීවේය.
පළාත් පාලන ඡන්දයෙන් පසුව ආණ්ඩුවට එරෙහිව ජනමතය අමතක කරන්න තුරුම්පු දෙකක් ගැහුවා. එකක් අගමැති මාරුව. අනෙක කැබිනට් සංශෝධනය.
නමුත් මාරු වෙච්ච අගමැති කෙනෙකුත් නැහැ. සිදුවූ කැබිනට් සංශෝධනයකුත් නැහැ. මේක ලෝක විහිළුවක්. වෙනදා කැබිනට් සංශෝධනයක් වුණාම දැනෙන ඇමැතිකම් කීපයක් එහෙ මෙහෙ වෙනවා. මේක ගේ ඇතුළෙ කොට්ටා දෙක එහෙට මෙහේට මාරුවීමක් පමණයි.

සාගල නිදාගන්න කොට්ටෙ රනිල් අරගෙන. රනිල් නිදාගන්න කොට්ටෙ සාගල අරගෙන. කිරිඇල්ලගෙ කොට්ටෙ කබීර්ටත් කබීර්ගෙ කොට්ටෙ කිරිඇල්ලටත් මාරු කරගෙන.

මේ කැබිනට් සංශෝධනය ඇමැති මූණෙන්වත් ක්‍රියාකලාපෙන්වත් ජනතාවට කිසිම වෙනසක් දැනෙන එකක් නැහැ.
මේකෙ බරපතළම අනතුර බැඳුම්කර හොරකමට කුමකින් කුමක් සිදුවේදැයි කියන එකයි. මේකෙ පරීක්ෂණ කරනවා නම් රහස් පොලිසියෙන්, අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අදාළ තොරතුරු ඉදිරිපත් කරන්න තිබුණා. එකවරක් මහ බැංකුව තමන් යටතට පවරාගෙන මේ තරම් මගඩියක් කළ රනිල් වික්‍රමසිංහ මහත්තයා පොලිසිය තමන් යටතට ගෙන මොනවා කරයිද කියලා අපට හිතාගන්නවත් බැහැ.

විශේෂයෙන්ම මේ වෙලාව අගමැතිවරයා පොලිසිය තමන් යටතට ගත්තෙ බැඳුම්කර මගඩිය වහන්න බව ඉතා පැහැදිලියි. එහි සාක්කි, සටහන් තොරතුරු සියල්ල උඩු යටිකුරු වෙලා හොරු නොහොරු වෙන්න පුළුවන්. එහෙම නොවුණොත් පුදුමය ඒකයි. හොරු අල්ලන්න අගමැතිතුමාට කිසිම වුවමනාවක් නැහැ. එහෙම වුවමනාවක් තිබුණා නම් සාගල රත්නායක මහතා අතේ ඇමැතිකම තිබියදීත් හොරු අල්ලන්න තිබුණා.

ඒක නිසා මේක කිසිම ආකාරයකින් රටට හිතකර නොවන ඇමැති මණ්ඩල සංශෝධනයක් බව ඉතා පැහැදිලියි. ජනතාව අපේක්ෂා කළ කිසිවක් මේ මඟින් ඉටු වෙන්නේ නැහැ. පරණ පුරුදු තාලෙටම හොරු ඉඳීවි. මේ ආණ්ඩුවත් හොරකම් කරාවි. 2020 වනතුරු ආණ්ඩුවත් ඉදිරියට යයි.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් 2015 ජනවාරි 08 වැනිදා ලබාදුන් ජනවරමට අනුව කටයුතු නොකළ නිසා මහින්ද රාජපක්ෂ මහතාට වාසි වන තත්ත්වයක් උදාවුණා. 2015 ජනවාරි ජනවරම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී ඉන්නවා.