අම්පාරේ මුස්ලිම් වෙළෙඳසල්වලට ප්රහාර: ආරක්ෂාව තර කෙරේ
අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්රකාශකයෙක් පැවසීය. අම්පාර නගරයේ ආපන ශාලාවක “වඳ පෙති” සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්රහාර එල්ල කර තිබේ.
අදාළ ආපන ශාලාව වද පෙති ආහාර වලට දැම්මාය යන එල්ල කරන චෝදනාව සම්බන්දයෙන් ද වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.
මෙම ප්රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබේ.
ප්රහාරවලින් අනතුරුව අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබේ.


මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්රියාත්මක කළ යුතු යයි ප්රදේශයේ දේශපාලකයන්, ආගමික නායකයන් හා ආරක්ෂක අංශ අතර අඟහරුවාදා (පෙබරවාරි 27) දහවල් අම්පාර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ. ප්රදේශයේ සාමය ආරක්ෂාවන ආකාරයට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ එහිදී සියලු පාර්ශව වලින් ඉල්ලා සිට තිබේ.