‘කණ පැලෙන්න ආණ්ඩුවට ගැහුවත් ජනතාව ලැබූ ජයග්‍රහණයක් නැහැ’ – කේ. ඩී. ලාල්කාන්ත
කේ. ඩී. ලාල්කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණේ සම දේශපාලන මණ්ඩල සභිකයෙක්. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය ලැබූ ප්‍රතිඵල සහ ජනතාව හැසිරුණු ආකාරය පිළිබඳ “ඉරිදා දිවයින සංග්‍රහය” සමඟ කේ. ඩී. ලාල්කාන්ත මහතා සම්මුඛ සාකච්ඡාවක් සිදු කළේය. එහි සටහන් මතු දැක්වේ.
ප්රශ්නය – ජවිපෙ මේ මැතිවරණයට කලින් තමන් ලබන ප්‍රතිඵලය ගැන හිටියේ අධි තක්සේරුවක. නමුත් ප්රතිඵලවල සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් වුණා?
පිළිතුර – අපි අධිතක්සේරුවක හිටියේ නෑ. නමුත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණෙත් නෑ. ලැබූ ප්‍රතිඵලය ගැන සතුටක් තියෙනවා. නමුත් එය ප්‍රමාණවත් නෑ. ලක්ෂ දෙකකින් අපේ ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබෙනවා. 2011 සිට අඛණ්ඩව ඡන්ද වැඩි කරගෙන අපි එක්තරා ආකාරයකට ඉදිරියට ගමන් කිරීමක් කර තිබෙනවා. පළාත් පාලන ආයතනවල මහින්ද රාජපක්ෂ මහතාට තිබූ බලය ඔහු යළි තහවුරු කරගෙන තිබෙනවා. ඒ තුළින් ආණ්ඩුව ලොකු පරාජයක් ලබා තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂට 2015 තිබූ ඡන්ද ප්‍රමාණය වෙතවත් ළඟා වන්න බැරිවී තිබෙනවා. 2015 දී ලක්ෂ 58 ක් ඔහු ලබාගත්තා. නමුත් මෙවර විශාල වශයෙන් ඒ ප්‍රමාණය සමඟ සසඳද්දී අඩුවෙලා. ආණ්ඩුවටත් ජනතාව විසින් ලබාදිය යුතු පිළිතුර ලබාදී තිබෙනවා.
ප්රශ්නය – මෙවන් ප්‍රතිඵලයක් ලැබීම ගැන පක්ෂය තුළ මේ වන විට යම් පසු විපරමක් නැතිනම් ඇගයීමක් සිදු කළාද?
පිළිතුර – සමාලෝචනයක් කළා. ජනමාධ්‍ය විසින් කරන බලපෑම හුඟක් සාකච්ඡා කළා. ඡන්දදායකයාට ජනමාධ්‍ය මගින් කරන අති දැවැන්ත බලපෑම ඔවුන්ගේ න්‍යාය පත්රයන්ට අනුව විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය විසින් මතයක් නොමැති ජනතාවට මතයක් ලබාදී ඒ මාධ්‍ය බලාපොරොත්තු වන තැනට ගෙන යැමට විශාල කාර්යභාරයක් කරනවා. ආණ්ඩුවේ මාධ්‍ය කරන බලපෑම්වල වාසිය ආණ්ඩුවට. නමුත් ස්වාධීන මාධ්‍ය ලෙස පෙනී සිටින අය විසින් තමයි ඔවුන් කැමති තැනට ගෙන යැමට ජනතාව පොළඹවන්නේ ඊට පිළිතුරක් සොයා ගැනීම අප ඉදිරිපිට තිබෙන දැවැන්තම අභියෝගයක්. අපේ පණිවුඩය ජනතාවට ගමන් කරන්නේ ඉතාම සීමිත ප්රමාණයකටයි. මෙවරද අප රැස්වීම් වල ලක්ෂයකට කතා කර තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජනමාධ්‍ය මිලියන ගණනකට කතා කර තිබෙනවා. ඊට පිළිතුරක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බව අප දැක තිබෙනවා. ඕනෑම පක්ෂයකට තිබෙන ඡන්ද ප්‍රමාණය කොහොමත් ලැබෙනවා. නමුත් අනෙකුත් ඡන්දවලට කරන දේ පිළිබඳ මාධ්‍ය විසින් කරන බලපෑම විශාලයි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කළ ජනමාධ්‍ය ප්‍රමාණය හුඟක් වැඩියි. ඉතින් ඇත්තටම ඒ බලපෑම ප්‍රබලයි. මේකට උත්තරයක් සොයා ගන්නේ නැත්නම් ඡන්ද දිනන එක අමාරුවෙනවා.
ප්රශ්නය – කෙසේ වෙතත් මේ මැතිවරණයේ ප්‍රතිඵල නිසා ආණ්ඩුව විශාල අර්බුදයකට ලක්වෙලා. දේශපාලන අස්ථාවරයක් රට තුළ මතුවී තිබෙන බව පිළිගන්නවද?
පිළිතුර – ආණ්ඩුව අර්බුදයකට ගිහින් වගේම ජනතාවත් එක තැනක රැඳෙන ස්වභාවයක් දකිනවා. ඇත්තටම ජනතාව එක තැනක කැරකෙනවා. එනිසා ජනතාව ඉදිරියට යන්නේ නෑ. ආණ්ඩු වෙනස් වුණාට ජනතාව වෙනස් වෙන්නේ නෑ. ජනතාව වෙනස් වුණොත් තමයි ලොකු දෙයක් කළ හැකි වන්නේ. ඒත් ජනතාව එකම රවුමක කැරකෙනවා. ජනතාව මේ එකම රවුමේ යනතුරු රට හොඳ පැත්තකට යන්නේ නෑ. ජනතාව ආණ්ඩුවට කණ පැලෙන්න ගහලා තියෙනවා. ඒත් ජනතාවට ලැබුණු ජයග්‍රහණය මොකද්ද ඇත්තටම ජනතාවට අලුතෙන් ලැබුණු දේ ශූන්‍යයි. බඩු මිල අඩුවෙනවද? ගොවියාගේ, වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවද? ආණ්ඩුව වහා විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා. ඒවාට උත්තර නෑ. සයිටම් වැනි ප්‍රශ්නවලට තාම උත්තර නෑ. ඉතින් මේ ප්‍රතිඵලයත් එක්ක ජනතාවට ලැබෙන උත්තර මොනවද? ඇත්තටම ආණ්ඩුව කවුද කියා නොබලා ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළොත් ජය ගනීවි.
මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ඔය කවුරුන් බලයේ හිටියත් ඒ අයගේ ඒ දේශපාලනයෙන් වෙන අයෙක් බලයේ හිටියත් රටට සෙතක් නෑ. රට තව තවත් කඩාගෙන වැටෙනවා. මම නම් දැන් දේශපාලකයන්ට වඩා බනින්නේ ජනතාවට දේශපාලනයේදී ජනතාව අන්ත මෝඩයි.
ප්රශ්නය – 2020 දී ආණ්ඩු බලය ලබා ගැනීමේ ගමනකයි ජවිපෙ ගමන් කරමින් ඉන්නේ. ගමේ බලය ගන්න බැරි ජවිපෙ කොහොමද රටේ බලය ලබා ගන්නේ?
පිළිතුර – ඔව් එහෙම ප්‍රශ්න කරන එක හරි. එතකොට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්නේ. 2020 මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය එන්න නියමිතයි. සියල්ලට පෙර ප්රජාතන්ත්රවාදී ඉඩකඩ පුළුල් කිරීමට, විධායක ජනාධිපති ක්‍රමය හා ඒ සමග ඇති ඡන්ද ක්‍රමය වෙනම අරගෙන ඉවරයක් කළ යුතුයි. බලය බෙදීම, භාෂාව පිළිබඳව කතා පැත්තක තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍යයි. මේ මැතිවරණයේදී විධායක බලය සම්පූර්ණයෙන්ම මෛත්‍රිපාල ජනාධිපතිවරයා පාවිච්චි කළා. ජනමාධ්‍ය බලය පාවිච්චි කළා. මේ කිසිවක් නැතිව ඡන්දය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. අපට ජනමාධ්‍ය නෑ. මුදල් නෑ. අපේ ඇඟේ, හිතේ හයියෙන් අප ආරක්ෂා කරගත් නිවැරැදි වටිනාකම් පමණක් පාවිච්චි කරමිනුයි අපි ඡන්දය කළේ. සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති බලය, දැවැන්ත මුදල් බලය යොදා ගත්තා. අගමැතිවරයා ආණ්ඩු බලය හා දැවැන්ත මුදල් හා ජනමාධ්‍ය යොදා ගෙන ඡන්දය කළා. මේ ඔක්කොම වහලා විධායක ජනාධිපති ක්‍රමය නැතිව කාගේ කාගේත් බලය නැතිව ඡන්දයක් තිබ්බොත් ඇත්ත ප්‍රතිඵල බලාගන්න පුළුවන්.
මේ ප්‍රතිඵල ඇත්ත ඵ්රතිඵල නොවේ. ජනතාව දක්කාගෙන ගිහින් තමයි කතිරේ ගස්සා ගත්තේ. එනිසා ඊළඟ මහ මැතිවරණයට කලින් ජනමාධ්‍ය කරන බලපෑම, බලතල යොදාගෙන ඡන්ද කිරීම, දැවැන්ත මුදල් කන්දරාව, විධායක ජනාධිපති ක්‍රමය, වගේ ප්‍රශ්න ගැන දැවැන්ත කතිකාවක් යොදා ඊට උත්තර සෙවිය යුතුයි.
ප්රශ්නය – ඇතැම් පළාත් පාලන ආයතනවල තීරක බලවේගය බවට ජවිපෙ පත් වෙලා. ඒ ආයතන පවත්වාගෙන යැමට ජවිපෙ මැදිහත්වීමක් නොකරන්නේ ඇයි?
පිළිතුර – මේ ආයතන පවත්වාගෙන යන එක කොහොමත් වෙනවා. අපට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව අපි ඉතා මැනවින් දන්නවා. ඒ අපේක්ෂා සැලකිල්ලට ගත්තාම කිසිම කෙනෙකුට මේ ආයතනවල බලය පිහිටුවන්න අපේ සහයක් දෙන්නේ නෑ.
ජනතාවට යහපත් දෙයක් කරන්න අපි අපේ සහාය දෙනවා. පළාත් ආණ්ඩුවලට නොවේ මහ ආණ්ඩුවටත් ජනතාව තනි බලයක් දුන්නෙ නෑනේ. ඒත් ඔය එකතු කරගෙන කරගෙන යන්නේ. ඒ විදිහටම ගාගෙන, නාගෙන, අනාගෙන කාගෙන පළාත් ආයතනත් කරගෙන යයි. ප්‍රශ්නෙ තියෙන්නේ කලින් මේ සභාවල හිටපු සභාපතිලා ජනාධිපතිටත් වඩා ආඥදායකයන් ලෙසයි වැඩ කළේ. තම පක්ෂයේ මිනිහෙකුගේ යෝජනාවක්වත් නොතකා වැඩ කළ අයුතු බලයක් යොදා ගත් පිරිසක් තමයි ඒ සභාපතිවරු, මේ ඡන්ද ක්‍රමය යටතේ අනෙක් අයටත් ඇහුම්කන් දී වැඩ කරන්න සභාපතිවරුන්ට සිද්ධ වෙනවා. අනෙක අවුරුදු තුනක්ම මේ නියෝජිතයන් නැතිව නිලධාරීන් විසින් මේ පළාත් පාලන කරගෙන යා හැකි බවට ඔප්පු කළ රටක්නේ මේ. දැන් මේ නිලධාරීන් කියනවා “මුන් ටික ආවාම මළ වධයක් වේවි” කියලා. අපි කිසිම කෙනෙකුට බලයක් පිහිටුවන්න උදව් කරන්නේ නෑ. අපේ ජනවරම මත පිහිටා ජනතාවට සේවය කළ හැකි සෑම අවස්ථාවකදිම කා සමගත් අත්වැල් බැඳ ගන්නවා.
ප්රශ්නය – මුදලට එහාට මෙහාට පනින්නේ නැති බවට ජවිපෙ සභිකයන් ගැන උපරිම විශ්වාසයක් තැබිය හැකිද?
පිළිතුර – අපේ අය ගැන අපි ජනතාවට වගකියනවා. අප මත තැබූ විශ්වාසය අපි ආරක්ෂා කරනවා. දැනට ඇති තොරතුරු අනුව මුදලට මන්ත්‍රීවරු ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ජාතික වශයෙන් සහ පළාත් පාලන මට්ටමින් සිදුවෙනවා. ප්‍රධාන පක්ෂ කියලා අද තියෙන ඔය පක්ෂ තුනේ එහාට මෙහාට විකිණෙන අය ඕනෑ තරම් ඉන්නවා. ඒක පුදුමයකුත් නොවෙයිනේ. ඔවුන් එන්නෙම හම්බුකරන්නනේ. ජනතා සේවයට නොවෙයිනේ. ඉතින් හම්බ කරන්න එයාල මොනවා කළාම මොකද නේද? මම නම් ආයෙත් බනින්නේ ජනතාවට. මෙවැනි පිරිසක් තෝරාගත් ජනතාව වනාහි මෝඩ රැළක්. අනගාරික ධර්මපාලතුමා කළ දේ මතකනේ. මේ මෝඩයන් අතහැරලා එතුමා ඉන්දියාවට ගිහින් ප්‍රාර්ථනා කළාලු ලංකාව දිහා බලාගෙන මැරෙන්නවත් සිද්ධ කරන්න එපා කියලා. ඒ තරම් දේශපාලනයේදී ජනතාව අමනෝඥයි. නමුත් ධර්මපාලතුමා වගේ ජනතා විමුක්ති පෙරමුණ දමලා ගහලා යන්නේ නෑ. ජනතාව වෙනස් කිරීමේ අරගලය අපි අඛණ්ඩව සිදුකරගෙන යනවා.
( ඉරිදා දිවයින)