ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කුසගින්න නිසා වමනේ දැමූ සිසුවිය ගැබ් ගෙන ඇතැයි පාසලෙන් ඉවත් කරලා.

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සි සුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබේ. පසුව ඇය පාසලේ  වමනය කර ඇත. තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම්  දී   ඇත්තේ  පෙර කී සිසුවිය ගැබ් ගෙන ඇති බවට ය.

විදුහල්පතිනිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුළත මෙම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා  සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින්  අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කොට යවා ඇත .

අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා ඇත. වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර බැලූ අතර වෛද්‍ය  නිගමනය වූයේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව  නැති  බව ය.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  ගාමිණී සේනානායක මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත්  අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ  කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බව ය.

මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තව දුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය