සාරිපොටේ ගිනස් වාර්තාවට පාසල් ළමුන් 200 ක් නීතිවිරෝධීව යොදා ගනී – (PHOTOS)
ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් ඊයේ (21) මහනුවර ගන්නෝරුවේ දී ලොරියක පටවා තිබූ ඔසරි පොට ලොරිය තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසැල් සිසුවියන් 250 දෙනෙක් පමණ අල්ලා ගෙන සිටියහ. මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව ලංකා ගුරු සේවා සංගමය කියයි.
මනාල යුවළ ඊයේ (21) පෙරවරුවේ මහනුවර ගන්නොරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම් කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබිය.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමරියන් 40ක් සම්බන්ධ වීමද මෙහි ඇති විශේෂත්වයකි’
පාසල් ළමුන් මේ සඳහා සහභාගී කරවා ගැනීම කුමන ක්‍රමවේදයකට සිදු වුවද යන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තිලක් ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිවක් හරි හැටි නොදැන ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.
රුවන් පුෂ්පකුමාර නැමැති අය සමඟ යුග දිවියට එළඹීමට සජිනි ප්‍රියංගිකා මෙනවිය උඩරට මනාලියක් සේ හැඩගැන්වූනු ඇයගේ ඔසරි පොට මීටර් 3200කින් සමන්විත විය.
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 200ක් පමණ මේ සඳහා යොදාගෙන ඇතැයි ද, උදෑසන 6ට පමණ බස් රථ වලින් සිසුන් එම ස්ථානයට ගෙන ගොස් ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පාසල් සිසුන් දේශපාලන වැඩවලට සහ විවිධ ප්‍රවර්ධන වැඩවලට යොදා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් මෙවැනි වැඩවලට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි සමාජ මතයක් මෙම සිදුවිම හරහා නිර්මානයවී ඇත.



