සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයට වෘත්තිය සමිති 40ක් හෙට සූදානම්
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය.මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව මෙතෙක් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ දී දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ගුරු සංගම් ඇතුඵ වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක් මෙම වර්ජනය සඳහා සහය පළ කර ඇති බවයි. මෙම මාධ්‍ය හමුවට රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයද එක්ව සිටියා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද අදහස් පළ කළා.
“හෙට දවසේ අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදියට එක්දින සංකේත වැඩවර්ජනයක් කරනව. එහෙම වෙලාවක ඒ සාමාජිකයෝ සිටින පාසල්වලට ගිහින් දැනුවත් කරන්න අයිතියක් වෘත්තීය සමිතිවලට තියෙනව. අකිල විරාජ් නිවේදන නිකුත් කරන්න කලින් චක්‍රලේඛ බලල ඉන්න. ලයිස්තු ගන්න ලෑස්ති වෙනව. බිය වැදීම් කරනව. නිල වශයෙන් අපි දැනුම්දීල නැහැ කියනව. අධ්‍යාපන ලේකම්වරයටත් සියළු අමාත්‍යංශ ලේකම්වරුන්ටත් දැනුම් දීල තිබෙනව මේක ලිඛිතව.
මෙරට සියලූම විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ බියවැද්දීම්වලට බිය නොවී හෙට දිනයේ අසනීප නිවාඩු ගන්නා ලෙසයි”
ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ද වෛද්‍යවරුන් හෙට දිනයේ ක්‍රියාත්මක කරන සංඛේත වැඩවර්ජනයට සහය පළ කරනවා.
මේ අතර, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද වෛද්‍යවරුන් විසින් හෙට දිනයේ ක්‍රියාත්ම කරන වැඩවර්ජනයට සහය පළ කර තිබෙනවා. එම සංගමයේ නියෝජිත ආචාර්ය ලෙස්ලි ජයසේකර මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.