හිටපු ගුවන් සේවා අමාත්ය ප්රියන්කර ඇපමත මුදාහරී
හිටපු ගුවන් සේවා අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී ප්රියන්කර ජයරත්න මහතාට අල්ලස් කොමිසම මඟින් පවරා ඇති නඩුවට අදාලව අද(21) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් බුද්ධික කේ. රාගල මහතා නියම කළේය.
ප්රියන්කර ජයරත්න මහතා ගුවන් සේවා අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ නීත්යානූකූල නොවන ලෙස ගුවන් සේවා සංවර්ධන සැලසුම් සංවර්ධන නිලධාරී නමින් අලුතින් තනතුරක් ඇති කර ඊට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු පත් කිරීමට ගුවන් සේවා අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම යන චෝදනාව යටතේ හිටපු අමාත්යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ එම පෞද්ගලික ලේකම්වරයා ද අධිකරණයට ඉදිරිපත්ව ඇති අතර ඔහු ද රුපියල් 75,000ක මුදල් ඇප සහ ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට අතිරේක මහේස්ත්රාත්වරයා නියම කරන ලදි.