සෙල්ලම් පිස්තෝල මන්ත්‍රීගේ පෑලියගොඩ මාළු වෙළදපොලේ ටෙන්ඩර් මගඩිය
මහින්ද රාජපක්ෂ පාළන සමයේ හම්බන්තොට නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන් පසුව මෛත්‍රී පිලට එක්වී ශ්‍රීලනිප බෙලිඅත්ත ආසන සංවිධායක ධූරය ලබා ගත් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් සෙල්ලම් පිස්තෝල මන්ත්‍රී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ආරක්ෂක සේවා සැපයීමේ ටෙන්ඩරය හරහා කෝටි ගණනක මුදලක් අවභාවිතා කර ඇති බව හෙළිවේ. පැමිණිළි අංක ACC/FC/2015/88 යටතේ මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත යොමු කර ඇත.
හම්බන්තොට නගර සභාවේ සභාපති ධූරය දරන කාලය තුලදීම එනම් 2011-3-31 දින සිට 2015-3-30 දක්වා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ආරක්ෂක සේවා සැපයීම සදහා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට අයත් නිව් ප්‍රොටෙක්ට් ප්‍රොපටි පුද්ගලික සමාගම විසින් ගිවිසුමකට එළඹ ඇත. එවකට ධීවර ඇමති වූ එරාජ් රවීන්ද්‍රගේ පැරණි මිතුරෙකුද වන රාජිත සේනාරත්නගේ මැදිහත් වීම හරහා මෙම ආරක්ෂක සේවා ගිවිසුම ලබාගෙන ඇත. මෙම ගිවිසුමට අනුව සේවයේ යෙදවිය යුතු ආරක්ෂක නිළධාරීන් ප්‍රමාණය සේවයේ නොයොදවා 2011-3-30 වන දින සිට 2013 වර්ෂය දක්වා රුපියල් 17,592,993.00 මුදලක් (මිලියන 17.5) වංචා කර ඇතිබව විගණන වාර්තා මගින්ද තහවුරු වී ඇත.
මීට අමතරව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු හම්බන්තොට නගර සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් රජය සමග ව්‍යාපාර කටයුතු කිරීම හරහා නගර සභා ආඥා පනතේ 228 වන වගන්තියට අනුව රජයේ සේවකයෙකු වන බැවින් ආයතන සංග්‍රහයද උල්ලංඝණය කර ඇත. මන්දයත් රාජ්‍ය සේවකයෙකුට ආයතන සංග්‍රහය අනුව රජය සමග ව්‍යාපාර කටයුතු සිදුකල නොහැක.
ඉහත සදහන් චෝදනාවන් දණ්ඩ නීති සංග්‍රහයේ 386, 400, 454, 452 යටතේ ගැණෙන වැරදි වන අතර ඒ සදහා නිව් ප්‍රොටෙක්ට් ප්‍රොපටි පුද්ගලික සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ගුණරත්න ඉනෝකා ක්‍රිෂාන්ති යන අය චෝදනා ලැබ සිටියි. මේ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් කොට සී.ආර් 5/38/16 යටතේ නීතිපති උපදෙස් සදහා යොමුකොට ඇති නමුත් ‘යහපාලන’ ආණ්ඩුවේ ඉහලම නායකයින්ගේ ආශිර්වාදය ලැබසිටින සෙල්ලම් පිස්තෝල මන්ත්‍රීට මේවනතෙක් කිසිදු ක්‍රීයාමාර්ගයක් නොගෙන අදාල ලිපිගොණුව වසාදමා ඇත. මෙම වංචා වසන් කිරීම ‘යහපාලනයේ’ ස්භාවය රටට හෙලිකරන තවත් එක් දුෂිතයින් ආරක්ෂාකිරීමේ සිදුවීමක් පමණක්වේ