මහින්ද බලහත්කාරයෙන් පවරාගත් වැල්ලවත්තේ තට්ටු තුනක නිවස ශ්රේෂ්ඨාධිකරණයෙන් අයිතිකරුවන්ට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට ඊයේ (27) නියම කළේය. මෙම නිවස සහිත ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසද ශ්රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය. එම නිවස වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු අතර අයිතිය තිබුණේ දෙමළ ජාතික ව්යාපාරිකයකුටය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බව හා එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බවට චෝදනා කරමින් නිවස රාජසන්තක කර තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය බලතල පාවිච්චි කරමින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා, කිසිදු හේතු විමසීමකින් තොරව මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්රය රාජසන්තක කිරීමෙන් පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය. මෙම පෙත්සමෙන් ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, එය භාර නියෝජ්ය පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම් සහ නීතීපතිවරයා වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යංශයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වු බවත් මේ සම්බන්ධයෙන් කිසිදු හේතු විමසීමකින් තොරවම ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් 2009 දෙසැම්බර් 17 වැනිදා තම සේවාදායකයින් සතු මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්රය රාජසන්තක කළ බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.