තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් CIDයට නියෝග කරයි
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුවන ලෙස පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නියෝග කර තිබේ. අදාළ නඩු අද කැඳවූ අවස්ථාවේදී වසීම් තාජුදීන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන්ද, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් තීරණයක් ලබාදී ඇති බවයි.
තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේදී ඔහු නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවට තීන්දුවක් ලබාදී ඇති බව නීතිඥවරුන් මෙහිදී පෙන්වාදෙන ලදී.
වසීම් තාජුදීන් ගේ වාහනය පිටුපසින් ගමන් කළ වාහන පෙළක සිටි පුද්ගලයින් පිළිබඳ ඡයාරූප පෙළක් ලැබී ඇති බැවින් එම ඡායාරූප රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවද රත්නායක මහතා මෙහිදී කියා සිටියේය. එමෙන්ම සිද්ධියට අදාළ දුරකථන ඇමතුම් පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාදවීම නුසුදුසු බව පෙන්වා දුන් කොළඹ අතිරේකක මහේස්ත්‍රාත් ට්‍රොස්කි මහතා මෙම පරීක්ෂණ කඩිනම් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ අනුව අගෝස්තු 27 වන දින මෙම නඩුව යළි කැඳවීමටත්, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.