බැඳුම්කර අලාභය අය කර ගත හැකි බව නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි.
ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් රජයට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (07) ලිඛිතව පාර්ලිමෙන්තුවට දන්වා තිබේ.
මෙම සිද්ධියට අදාළව කෝප් කමිටුව විසින් තමා වෙත යොමුකරන ලද වාර්තාවේ මුදල් අවභාවිතයක් හෝ ගනුදෙනු සිදුකිරීමේදී නීතියට පටහැණිව එය සිදුවිය හැකි බව දක්වා ඇති බවත්, 1937 ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කිසියම් පුද්ගලයෙකු අදාළ රෙගුලාසි, විධිවිධාන හා මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට අසමත් වන්නේනම් දඬුවම් ලැබිය හැකි වරදක් බවද නීතිපතිවරයා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.
මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කළ විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා මේ බව නිර්දේශ කර ඇත.
නීතිපතිවරයා විසින් නිකුත් කළ එම ලිපියේ දැක්වෙන්නේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍යය බවයි. දැනටමත් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා පවසයි.
කෝප් වාර්තා පිළිබඳව නීතිපතිවරයා එවූ ලිපිය කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව ය.