තමිල්නාඩුව දෙලොවක් අතර
බොහෝ දෙනකු ඉදිරිපත් කළ තර්කයක් වූයේ ශෂිකලාට දේශපාලන පරිචයක් නැති බවය. ජයලලිතාගේ නායකත්වය අසලටවත් පැමිණීමට ඇයට නොහැකිවනු ඇති බවට මත පළ විය. කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම් ධුරයට පත්වීමෙන් අත්‍යවශ්‍යම කඩුල්ල පැන ගැනීමට ඇය සමත් වූවාය.
පක්ෂයට අවශ්‍යනම් තවදුරටත් මහඇමැති ධුරයේ සිටීමට සූදානම් බව කියමින් දේශපාලන කැරැල්ලක් ගසා ඇති පන්නීර්ට පාක්ෂිකයන් අතර වීරයකු වීමටද ඉඩක් ලැබී තිබේ. පන්නීර් වෑයම් කරමින් සිටින්නේ හිටපු මහ ඇමැතිනියගේ විශ්වසනීයම සුවච කීකරු අනුප්‍රාප්තිකයා තමන් බව පෙන්වීමටය.
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් අසනීප තත්ත්වයෙන් පෙළුණු සමයේ AIADMK පක්ෂයේ වැඩබලන නායකත්වයට ඕ.පන්නීර් සෙල්වම් පත් කෙරිණි. මේ පත්වීමෙන් පැය කිහිපයක් ගතවනවිට අසන්නට ලැබුණේ, ඔහු මහඇමැති පදවියට ද පත්වූ බවය. ජයලලිතාගේ අනපේක්ෂිත අභාවයෙන් දෙමසක් ගතවන තැන පෞද්ගලික හේතුමත බව පවසමින් ඔහු අස්වීමේ ලිපිය ආණ්ඩුකාරවරයා වෙත යොමු කළේ ය. ඒ සමඟම, ජයලලිතාගේ සමීපතමයකු වූ ශෂිකලා නවරාජන් නිවේදනය කළේ තමා මහ ඇමැති ධුරයට පත්වනු ඇති බවය. ඒ වනවිටත් පක්ෂ නායකත්වය වශයෙන් සැලකෙන මහලේකම් තනතුරට ඇය පත්කරගෙන තිබිණි. මහ ඇමැති වශයෙන් ශෂිකලා නම් කළ විට පන්නීර් සෙල්වම් ප්‍රකාශ කළේ තමා තවදුරටත් මහඇමැති ධුරයේ කටයුතු කරනු ඇති බවය. ශෂිකලා නවරාජන් CNN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ තමා මහඇමැති වශයෙන් පත්වීම 100% ක්ම ස්ථිර බව පවසමිනි. ඒ අනුව මේ වනවිට තමිල්නාඩු දේශපාලනය උණුසුම් කරමින් පාලක පක්ෂය තුළ දෙදරීමක් ඇතිවී තිබේ.
පන්නීර් සෙල්වම් යනු සටන්කාමී දේශපාලන චරිතයක් නොවේ. ඔහු ජයලලිතාගේ අවසන් දින කිහිපයේ මහ ඇමැති ධුරයේ කටයුතු කළේ ජයලලිතාගේ සේයාරුවක් සාක්කුවේ රුවාගෙනය. අනෙක් අතට ශෂිකලා ද දේශ පාලනයේ ගැඹුරු අත්දැකීම් ඇති තැනැත්තියක් නොවේ. ඇය මහ ඇමැති තනතුරට පත් වුවහොත් මහජන ඡන්දයෙන් තොරව එම තනතුරට පත්වීම නිසාද ඇය කැපී පෙනේ.
එම්.ජී.රාමචන්ද්‍රන් (MGR) සහ ජයලලිතා ජෙයරාම් මහ ඇමැති ධුරයට පත්වූයේ පළමුව පක්ෂයේ මහලේකම් තනතුරට පත්වීමෙන් අනතුරුවය. එකී අවශ්‍යතාව සපුරාලීමට ශෂිකලාටද හැකි වී තිබේ. එමඟින් ඇය පෙන්වීමට වෑයම් කර ඇත්තේ මහ ඇමැති තනතුර සඳහා අවශ්‍ය මූලික සුදුසුකමක් තමන් සපුරා ඇති බවකි. ශෂිකලා නවරාජන් AIADMK පක්ෂයේ මහලේකම් තනතුර සඳහා තෝරා ගන්නා ලද්දේ ඉකුත් දෙසැම්බර් 31 වැනිදාය. එහෙත්, රාමචන්ද්‍රන් හෝ ජයලලිතා මෙන් ඡන්දයෙන් නොවේ.
ජයලලිතා අභාවයට පත් වූ විගස හා එම අවමංගල්‍ය අවස්ථාවේදී ද ඇයගේ අනුප්රාප්තිකාව වනු ඇත්තේ තමන් බවට ඉඟි ලබාදීමට ශෂිකලා සමත් වූවා ය. එහෙත්, පක්ෂය තුළ ඇයගේ නායකත්වය සම්බන්ධයෙන් මත ගැටුම් තිබිණි. බොහෝ දෙනකු ඉදිරිපත් කළ තර්කයක් වූයේ ශෂිකලාට දේශපාලන පරිචයක් නැති බවය. ජයලලිතාගේ නායකත්වය අසලටවත් පැමිණීමට ඇයට නොහැකිවනු ඇති බවට මත පළ විය. කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම් ධුරයට පත්වීමෙන් අත්‍යවශ්‍යම කඩුල්ල පැන ගැනීමට ඇය සමත් වූවාය. ඉන්පසු නොපමාව ඉතිරි පියවර කිහිපය තැබීමටද ඇය වගබලාගෙන තිබේ.
මුලදී යම් නිහඬ බවක් පළ කළ ද වැඩබැලීම සඳහා පත්කළ මහ ඇමැති පන්නීර් සෙල්වම් මේ වනවිට ඇයට අභියෝග කරන තැනට පැමිණ සිටී. පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වූ ප්‍රතිවාදියා මුල් වටයේදීම මර්දනය කිරීමේ අදහසින් ඔහු දැරූ භාණ්ඩාගාරික ධුරයෙන් නෙරපාහැරීමට ඇය තමන්ට පැවැරී ඇති නායකත්ව බලතල අනුව පියවර ගත්තාය. නායකත්වයට එරෙහිව ප්‍රතිවාදී ADMK පක්ෂය සමඟ එක්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට පන්නීර්ට එරෙහි චෝදනාව වුවත් ඔහු මේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට ADMK පක්ෂය සමඟ එක්ව ක්‍රියාත්මකවීමට අවශ්‍යතාවක් නැතැයි ඔහු පවසා තිබේ.
ශෂිකලා, මහඇමැතිනිය වශයෙන් පත්වීමට එරෙහි වන අය ඊට හේතු ගණනාවක්ම ඉදිරිපත් කරති. ඉන් එකක් නම් ඇයට අපරාධමය වරදකට චෝදනා එල්ල වී තිබීමය. අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව පිළිබඳ එම නඩුව තවමත් විභාගවෙමින් පවතී. තවත් හේතුවක් නම් ඇය ඊට පත්වීමට සූදානම් වන්නේ ප්රජාතන්ත්රීයව නොවීමයි. ඇය නායකත්වයට පත්වූයේ මැතිවරණයකින් ජයගෙන නොවේ. හිටපු මුදල් ඇමැති පී.චිදම්බරම් පවසන පරිදි, AIADMK පක්ෂයට ඔවුන්ගේ පක්ෂ නායකත්වය සඳහා යමකු තෝරා ගැනීමේ අයිතිය තිබේ. එහෙත් එම නායකයා මහඇමැති ධුරයද හොබවන්නේ නම් මහජනයාටද ඒ ගැන විමසීම් කිරීමට අයිතියක් ඇත.
මහඇමැති ධුරය සඳහා ශෂිකලාට ඇති සුදුසුකම ලෙස පෙනෙන්නට ඇත්තේ හිටපු මහ ඇමැතිනිය සමඟ තිබූ සබැඳියාවය. තමාට යම් දේශපාලන අවබෝධයක් හෝ අත්දැකීම් නොමැති බව ඇය පෙන්නුම් කර තිබේ.
ශෂිකලා නවරාජන්ගේ මහඇමැති අපේක්ෂාව පිළිබඳ වාද – විවාද ඇතිවී තිබියදී පන්නීර් තවත් ඝෝෂාවක් ඇති කිරීමටද වගබලාගෙන ඇත. ඒ, හිටපු මහඇමැතිනී ජයලලිතාගේ අභාවය පිළිබඳ පරීක්ෂණයක් කළයුතු බව පවසමිනි. හිටපු මහඇමැතිනිය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තෙමසක කාලසීමාව තුළ එක් වතාවක් හෝ ඇය හමුවීමට ශෂිකලා තමන්ට ඉඩ නුදුන් බවටද ඔහු චෝදනා කරයි. ජයලලිතාගේ මරණය ගැන පරීක්ෂණයක් කරන්නැයි තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා තිබේ. මේ මඟින් ඔහු පෙන්වීමට වෑයම් කර ඇත්තේ තවදුරටත් මහ ඇමැතිධුරයේ කටයුතු කිරීමට ඇති වුවමනාවයි. කෙසේ වෙතත් මෙහිදී මහජනයාගේ කැමැත්ත විමසා බැලීමටද ඔහු අපේක්ෂා කරයි.
ඉකුත් සඳුදා වනතුරුම පක්ෂයේ තීරණය අනුව ශෂිකලා නටරාජන් මහ ඇමැතිධුරයට පත්කිරීම ගැන විරෝධයක් පළ නොකළ පන්නීර් එක්වරම එම ස්ථාවරයෙන් බැහැරවිය. සිය සැලැස්ම වෙනස් කළ බවද තවදුරටත් මහඇමැතිධුරයේ රැඳී සිටීමට සූදානම් බවද ඔහු මාධ්‍යට කීවේ ජයලලිතාගේ ස්මාරකයට ගෞරව කිරීමෙන් පසු කඳුළු පිරි නෙතින් යුතුවය.
ඉකුත් ඉරිදා පැවැති පක්ෂයේ රැස්වීමේදී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි තමාට දැනුම් දුන්නේ අවසන් විනාඩියේදී බවද ඊට එරෙහිව තමන් දෙපැයක් වාද කළ බවද ඔහු පවසා තිබිණි. මේ පිළිබඳ පක්ෂයේ සාමාජිකත්වය මෙන්ම රටද සත්‍ය දැනගත යුතු බව ඔහුගේ අදහසය. මෙහිදී පන්නීර්ගේ අදහස් AIADMK පක්ෂයේ තවත් ප්‍රබලයන් කිහිප දෙනකුද අනුමත කර ඇත. වී. වයිතියන් ඉන් එක් අයෙකි. ඔහු පවසන පරිදි පන්නීර්ගේ ස්ථාවරය සාධාරණ එකකි. හිටපු මහඇමැතිනියගේ දෙවැනියාද වූ ඔහු මහ ඇමැති ධුරයේ වැඩබැලීමට පත් කළේ ද ඇය බව ඔහු පෙන්වා දේ.
හිටපු මහ ඇමැතිනියගේ නිවසේ පැවැති පක්ෂ රැස්වීමේදී පක්ෂයේ නියෝජිතයන් 134 දෙනාගේම පාහේ සහාය ලබාගැනීමට ශෂිකලාට හැකිවිය. මහ ඇමැති ධුරය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ආණ්ඩුකාරවරයා පිළිබඳ තොරතුරක් පවා නැත. මුලින් ඔහු නවදිල්ලියට ගිය බව වාර්තා වුවද එතැන් සිට ගියේ කොතැනටද යන්න ගැන හෙළිදරව් නොවීය. මේ හේතුවෙන් ශෂිකලාට මහඇමැති ධුරයේ දිවුරුම්දීමට අවකාශ නොලැබීම පන්නීර්ගේ වාසියට බලපෑවේය.
බී.ජේ.පි ය සමඟ එක්ව ක්‍රියා නොකළද තමාට ඔවුන්ගේ සහාය ද ලැබෙන බව පන්නීර් පවසා තිබිණි. ශෂිකලාට එරෙහිව තමාට සහාය දක්වන ලෙස ජයලලිතාගේ ලේලිය වන දීපා ජයකුමාර්ට ද ඔහු ඇරියුම් කර ඇත. ඇය සිටින්නේද ශෂිකලාට එරෙහි ස්ථාවරයකය.
ආණ්ඩුකාර විද්යාසාගර් රාවෝ මහ ඇමැතිධුරය සඳහා ශෂිකලා පත් වීමට ඇති නීතිමය හැකියාව පිළිබඳ නීති විශාරදයන්ගෙන් විමසා ඇතැයි ද වාර්තා වී තිබේ. මෙහිදී ආණ්ඩුකාරයාගේ අවධානයට ලක්වී ඇත්තේ ඇයට එරෙහිව සිදුවෙමින් ඇති නඩු විභාගයයි.
වීඩියෝහල් හිමිකාරිනියකව සිටි ශෂිකලා නවරාජන් හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ගේ දශක 3ක් පමණ තිස්සේ සමීපම සහායිකාවක විය. පන්නීර් සෙල්වම් යනු හිටපු මහඇමැතිනියගේ වඩාත් විශ්වසනීය සහයකයෙකි. දූෂණ චෝදනා මත පදවියෙන් ඉවත් වීමට සිදුවූ විටද ජයලලිතා මහ ඇමැති ධුරයට නම් කළේ ඔහුය. පක්ෂයට අවශ්‍යනම් තවදුරටත් මහඇමැති ධුරයේ සිටීමට සූදානම් බව කියමින් දේශපාලන කැරැල්ලක් ගසා ඇති පන්නීර්ට පාක්ෂිකයන් අතර වීරයකු වීමටද ඉඩක් ලැබී තිබේ. පන්නීර් වෑයම් කරමින් සිටින්නේ හිටපු මහ ඇමැතිනියගේ විශ්වසනීයම සුවච කීකරු අනුප්‍රාප්තිකයා තමන් බව පෙන්වීමටය. තම ස්ථාවරයට සහාය ලබා ගැනීම වෙනුවෙන් ඔහු සමාජ මාධ්‍ය ක්රියාන්විතයක්ද දියත් කළේය. ඒ ඔස්සේ ඔහුට සහාය පළකරමින් පණිවිඩ ගලා ඒමට පටන්ගෙන ඇත. දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් ද ඊට එක් වී සිටී.
තමිල්නාඩුවේ නිර්මාණය වී ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය ගැන බී.ජේ.පි ය නොසතුටින් පසුවන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
AIADMK පක්ෂයේ තීරණය වී ඇත්තේ මහඇමැතිධුරය සඳහා ශෂිකලා නවරාජන් පත්කළ යුතු බවය. දැනට සිදුවන අධිකරණමය කාර්යය ඊට බාධාවක් නොවන්නේ නම් බොහෝවිට ඇය මීළඟ මහඇමැතිනිය වශයෙන් පත්වීමට ඉඩ තිබේ. 2014 දී දූෂණයට අනුබල දුන්නේය යන චෝදනාව මත අත්අඩංගුවටද පත් වූ ශෂිකලා,බෙංගලාරුහිදී හිටපු මහ ඇමැතිනිය සමඟම බන්ධනාගාරගත කෙරිණි. මේ චෝදනාවෙන් ඔවුන් නිදහස් වූ අතර ජයලලිතා යළි මහඇමැතිධුරයේ කටයුතු ඇරැඹුවාය. එහෙත් කර්ණාටක රජය සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගිය අතර මේ වනවිට විභාග වෙමින් ඇත්තේ එම නඩුවයි. ජයලලිතා දශක ගණනාවක් සිය පක්ෂය පාලනය කළේ අයෝමය හස්තයකිනි. ඇයගේ අභාවයෙන් පසු පළමුවතාවට පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති අර්බුදය තමිල්නාඩු දේශපාලනයට තීරණාත්මක බලපෑමක් ඇති කරන බව පැහැදිළිය.