අපේ ඉඩම් චීනෙට දෙන්නේ නෑ – කැති, උදලු රැගෙන හම්බන්තොට ජනතාව වීදිබසී…!
හම්බන්තොට ගොවි ජනතාව සතු ගම් බිම් චීන ආයෝජකයින්ට ලබාදීමට රජය ගෙනඇති පියවරට තවදුරටත් විරෝධය දක්වමින් ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කැති, උදලු, පොරෝ, නගුල්, සහ කොසු -ඉදල් රැගෙන හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට අද (23) විරෝධතාවයක නියැලුනහ.
හම්බන්තොට මත්තල ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් පාලම පිවිසුම් මාර්ගය අසල සිට විරෝධතා පා ගමනින් හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටට පැමිණි ඔවුහු සිය උපන් ගම් බිම් හැරදා යැමට නොහැකි බව පවසමින් තවදුරටත් අපේ ගම් බිම් වල අපි ජීවත්වන බව කියමින් සටන් පාඨ රැගත් පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවය සිදු කලහ.
ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතාද මෙම විරෝධතාවය සදහා එක්ව සිටියහ.
හම්බන්තොට බැරගම, මහආර, අරවනමුල්ල, පහල බැරගම, මානජ්ජාව, සිසිලස ගම යන ගම්මානවල දහසකට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක් වි සිටි අයුරු දක්නට ලැබිණි.
එහිදී මාධ්ය වෙත අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා,
‘මලික් සමරවික්රම ඇමතිවරයා සාකච්ඡාවක් තියලා කිවුවා ඉඩම් අක්කර 15000 දෙනවා කියලා කර්මාන්ත ඇතිකරන්න. මෙතන තියෙන ඇත්ත ප්රශ්නය ඕක නොවෙයි. ඔය කතාව සම්පුර්ණ බොරුවක්. කර්මාන්ත මුවාවෙන් ලෝකේ බලවත්තු අපේ රට ගිලගන්න එන ක්රමය මේක තමයි නැත්නම් කර්මාන්ත පුරයට අක්කර 15000 ක් ඕන වෙන්නෙ නෑ.’
‘මේක දේශපාලන උවමානාවට කරන වැඩක්. අපේ රටේ පිහිටීම අනුව ඒ අයගේ දේශපාලන උවමනාවන් ආර්ථික උවමානාවන් යුදමය උමනාවන් ස්ථාපිත කරගැනීම සදහා ඒ අයගේ බලය මේ භූමිය තුල තහවුරු කර ගැනීමට ඒ රටවල් කටයුතු කරනවා.’
‘හම්බන්තොට ජනතාවගේ මේ විරෝධතාවයෙන් කියන්නේ තමන්ගේ ඉඩම් චීන සමාගම්වලට පැවරීමට ගන්න එපා කියලා. චීන සමාගමකට විතරක් නොවෙයි ඕනෑම සමාගමකට ඕනෑම වැඩකට මේ ඉඩම් දෙන්න ජනතාව සුදානම් නෑ. මොකද මේවා පදිංචි ඉඩම්, ඒ විතරක් නොවෙයි වගා කරන ඉඩම්. මේවයෙන් තමයි ජීවත්වෙන්නේ. ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ ජනතාව අකමැති දෙයක් කරන්න. සමහරු කියනවා මේ ජනතාවට වන්දි දෙනවයි කියලා මේ ජනතාව වන්දි අරන් යන්න සුදානම් නෑ.’




