විජේරාමේ ගෙදර ලක්ෂ 7ක ලයිට්-වතුර බිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලු තියලා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට පෙරේදා (07) සූදානම් වී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ජල සම්බන්ධතාව විසන්ධි කිරීමටත්, රුපියල් ලක්ෂයක හිඟ විදුලි බිල්පතක් ඇති හෙයින් විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමටත් එහි ගොස් ඇත. මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් එහි සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාරගෙන් කළ විමසීමේදී සඳහන් කර ඇත්තේ, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් ඇති බවයි. මෙවැනි හිඟ බිල්පත් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව පෙරේදා (07) විජේරාම මාවතේ පිහිටි මෙම නිවසේ ද ජලය අත්හිටුවම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් එහි ගොස් ඇති බව ද ඔහු පවසා ඇත.
නිවසේ ආරක්ෂාවට රඳවා සිටින පොලිස් නිලධාරීන් ජල බිල්පත් හිඟය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇති හෙයින් එම නිවසේ ජල සැපයුම අත්හිටුවීමට මණ්ඩලය පියවර ගෙන නොමැති බව ද සභාපතිවරයා සඳහන් කර තිබේ.
විජේරාම මාවතේ පිහිටි නිවස මෙතෙක් නිල වශයෙන් භාරදී නැත. මෙහි ඇති රජයට අයත් භාණ්ඩ ලේඛන පරීක්ෂකර ඒවා වෙන් කරගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කරගැනීමෙන් අනතුරුව නිවස නිල වශයෙන් භාරදෙන බව මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සඳහන් කරයි. මෙම නිවසේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් භාණ්ඩ ඇති බව සඳහන්ය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටි විජේරාම මාවතේ නිල නිවසේ ඇති භාණ්ඩ ඔහුට අයත් පෞද්ගලික භාණ්ඩ ද නැතිනම් රජයට අයත් භාණ්ඩ ද යන්න වෙන්කර හඳුනාගැනීමේ ගැටලුවක් මේ වනවිට රජපක්ශ පවුලට මතුවී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් එම නිවස යළි භාර ගැනීමට යාමේදී මෙම ගැටලුකාරී තත්වය හට ගෙන තිබේ.
කෙසේවෙතත්, අරලියගහ මන්දිරයෙන් හෝ ජනාධිපති මන්දිරයෙන් භාණ්ඩ විජේරාම මාවතේ නිල නිවසට රැගෙන ගෙන ගිය බව දැක්වෙන නිල ලේඛන නොමැති බවද වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමට පෙර භාවිත කර ඇත්තේ මෙම නිවසය. මෙම නිවසේ ඔහු රැඳීසිටින විට තිබුණු රජයේ භාණ්ඩ ද තවමත් ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් ඒ සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදු වනු ඇත.
මහින්ද රාජපක්ෂ මෙම නිවසින් ඉවත්ව ගිය ද තවමත් නිල වශයෙන් නිවස භාරදී නොමැති බැවින් නිල වශයෙන් භාර දෙන දිනය දක්වා ඇති විදුලි සහ ජල බිල්පත් ද ගෙවීමට සිදු වනු ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් සැප්තැම්බර් 11 වැනිදා නික්ම ගියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමඟිනි. සැප්තැම්බර් 10වැනිදා ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ වන විට රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවිය.
හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යන වරප්‍රසාද මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බව හෝ නොගෙවිය යුතු බව පනතෙහි දැක්වේ.