ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විජේරාමේ ගෙදර ලක්ෂ 7ක ලයිට්-වතුර බිල් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ පොලු තියලා!

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම හේතු­වෙන් විදුලි සහ ජල සම්පා­දන සම්බ­න්ධතා විසන්ධි කිරී­මට පෙරේදා (07) සූදා­නම් වී ඇත.

ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ නිල­ධා­රීන් ජල සම්බ­න්ධ­තාව විසන්ධි කිරී­ම­ටත්, රුපි­යල් ලක්ෂ­යක හිඟ විදුලි බිල්ප­තක් ඇති හෙයින් විදුලි බල මණ්ඩ­ලය විදු­ලිය විසන්ධි කිරී­ම­ටත් එහි ගොස් ඇත. මේ වන විට ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් පම­ණක් එහි සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මේ සම්බ­න්ධ­යෙන් ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති චන්දන බණ්ඩාර­ගෙන් කළ විම­සී­මේදී සඳ­හන් කර ඇත්තේ, එම නිවසේ රුපි­යල් ලක්ෂ 6ක හිඟ ජල බිල්ප­තක් ඇති බවයි. මෙවැනි හිඟ බිල්පත් සම්බ­න්ධ­යෙන් ඉදිරි ක්‍රියා­මාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රම­වේ­දය අනුව පෙරේදා (07) විජේ­රාම මාවතේ පිහිටි මෙම නිවසේ ද ජලය අත්හි­ටු­වම සඳහා ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සේව­ක­යන් එහි ගොස් ඇති බව ද ඔහු පවසා ඇත.

නිවසේ ආර­ක්ෂා­වට රඳවා සිටින පොලිස් නිල­ධා­රීන් ජල බිල්පත් හිඟය සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු පුද්ග­ල­යන් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගන්නා බව සඳ­හන් කර ඇති හෙයින් එම නිවසේ ජල සැප­යුම අත්හි­ටු­වී­මට මණ්ඩ­ලය පිය­වර ගෙන නොමැති බව ද සභා­ප­ති­ව­රයා සඳ­හන් කර තිබේ.

විජේ­රාම මාව‍තේ පිහිටි නිවස මෙ‍‍තෙක් නිල වශ­යෙන් භාරදී නැත. මෙහි ඇති රජ­යට අයත් භාණ්ඩ ලේඛන පරී­ක්ෂ­කර ඒවා වෙන් කර­ගැ­නී­මෙන් අන­තු­රුව මහින්ද රාජ­පක්ෂ මහ­තාට අයත් භාණ්ඩ ඉවත් කර­ගැ­නී­මෙන් අන­තු­රුව නිවස නිල වශ­යෙන් භාර­දෙන බව මහින්ද රාජ­පක්ෂගේ පාර්ශ්ව­යෙන් සඳ­හන් කරයි. මෙම නිවසේ ජනා­ධි­පති කාර්යා­ලය, අග්‍රා­මාත්‍ය කාර්යා­ලය සහ රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශ­යට අයත් භාණ්ඩ ඇති බව සඳ­හන්ය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටි විජේරාම මාවතේ නිල නිවසේ ඇති භාණ්ඩ ඔහුට අයත් පෞද්ගලික භාණ්ඩ ද නැතිනම් රජයට අයත් භාණ්ඩ ද යන්න වෙන්කර හඳුනාගැනීමේ ගැටලුවක්‌ මේ වනවිට රජපක්ශ පවුලට මතුවී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් එම නිවස යළි භාර ගැනීමට යාමේදී මෙම ගැටලුකාරී තත්වය හට ගෙන තිබේ.

කෙසේවෙතත්, අරලියගහ මන්දිරයෙන් හෝ ජනාධිපති මන්දිරයෙන් භාණ්ඩ විජේරාම මාවතේ නිල නිවසට රැගෙන ගෙන ගිය බව දැක්වෙන නිල ලේඛන නොමැති බවද වාර්තා වේ.

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­පති ධුර­යට පත්වී­මට පෙර භාවිත කර ඇත්තේ මෙම නිව­සය. මෙම නිවසේ ඔහු රැඳීසිටින විට තිබුණු රජයේ භාණ්ඩ ද තව­මත් ඇතැයි විශ්වාස කෙරේ. එබැ­වින් ඒ සම්බ­න්ධ­යෙන් ද සොයාබැලී­මක් සිදු වනු ඇත.

මහින්ද රාජ­පක්ෂ මෙම නිව­සින් ඉවත්ව ගිය ද තව­මත් නිල වශ‍යෙන් නිවස භාරදී නොමැති බැවින් නිල වශ­යෙන් භාර දෙන දිනය දක්වා ඇති විදුලි සහ ජල බිල්පත් ද ගෙවී­මට සිදු වනු ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් සැප්තැම්බර් 11 වැනිදා නික්ම ගියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමඟිනි. සැප්තැම්බර් 10වැනිදා ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ වන විට රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවිය.

හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යන වරප්‍රසාද මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බව හෝ නොගෙවිය යුතු බව පනතෙහි දැක්වේ.