ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ප්ලේන් එකක්වත් එන්නේ නැති මත්තල නඩත්තුවට සේවකයන් 545ක්: පාඩුව කෝටි 10කටත් වැඩියි”

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවත්වාගෙන යාමේ මාසික පාඩුව රුපියල් කෝටි දහයකට වැඩි බව ත් කොපමණ පාඩු ලැබුවත් මෙය පවත්වාගෙන යන බව ත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මෙම ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන දෙසිය දහයක (210) ණය වාරික ගෙවීමට ඇති බව ත්, මෙය තවමත් නඩත්තු කරන්නේ කටුනායක උපයන මුදලින් යැයි අමාත්‍යවරයා කීය. මෙම ගුවන්තොටුපොළ ඉදිකර ඇත්තේ අලි ඇතුන්ගේ වාසබිමක බව ත් එම නිසා මේ පරිශ්‍රයට නිරන්තරයෙන් සිදුවන අලි ඇතුළුවීම් සහ පහර දීම් වැළැක්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

වියදම් අවම කර ගනිමින් විකල්ප ආදායම් උත්පාදන මාර්ග මෙහි ගොඩනැගිය යුතු යැයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගිය දා අමාත්‍යවරයා පැවැසුවේය. කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන්තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනකු (545) අනියුක්ත කර ඇති බවත් මෙයින් සමහරක් කොළඹ සිට මත්තලට ප්‍රවාහනය කිරීමට දිනපතා බස් රථයක් යොදා ඇති බවත් හෙළිදරව් විය.

එම නිසා සේවක කළමනාකරණ හා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ඉහළ කළමනාකාරිත්වයේ වැටුප් සහ දීමනා පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා පැවැසීය.

මත්තල ගුවන්තොටුපොළ කිසිවිටෙක විකුණන්නේ නැති බවත් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරමින් හොඳ ආයෝජකයෙක් පැමිණියහොත් සාමුහික ගිවිසුමකට එක්වෙමින් රජයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලැබීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් කීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට හා සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සමග මත්තල ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරීහු ද සහභාගි වූහ.