ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දරුණු මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකියි”: එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය දරුණු මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සියේ ප්‍රකාශක Jens Laerke සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි හවුල්කරුවන් මෙරට මිලියන 1.7ක් වන අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ සහ අර්බුදයෙන් වඩා ත් පීඩාවට පත් වූවන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 47ක් ඉල්ලා සිටින බව ය.

මාස ගණනක් මුළුල්ලේ සිට ම දෛනික විදුලි කප්පාදුව, පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල රැඳී සිටීම සහ වාර්තාගත උද්ධමනය, මිලියන 22ක ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත දුෂ්කර තත්ත්වයකට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ආණ්ඩුව මේ වන විට ත් බිලියන 51ක විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇති අතර විදේශ මුදල්වල බරපතළ හිඟය හේතුවෙන් වෙළෙඳුන්ට ප්‍රමාණවත් ආහාර ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි වී ඇති බව Jens Laerke වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිතවරයෙකු වන Christian Skoog ප්‍රකාශ කර ඇත්තේ, මෙරට තත්ත්වය භායනක බව ත් අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ සිටින අවුරුදු 5ට අඩු ළමයින්ගේ 17%ක් දැනටමත් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව ත් ය.

විශේෂයෙන් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000කට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය උත්සහ කරන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.