විමල් ජනාධිති වෙන්න සිහින දකී..! ආණ්ඩුවෙන් කොන්වෙන සෙට් එක එක්ක තෙවැනි මගක් සොයයි..!
තමන්ද නියෝජනය කරන තමන් විසින් බලයට ගෙන එන ලද වත්මන් ආණ්ඩුව වසර දෙකක් ගතවීමටත් පෙර ජනතා අභිලාසයන්ට පිටුපා ජනතාද්‍රෝහී ගමනක් යනවිට ඒ හරහා ගෙඩනැගෙන ආණ්ඩු විරෝධය සමනය කරමින් අලුත් දේශපාලන තුරුම්පුවක් ගැසීමට වත්මන් ආණ්ඩුවේ පාර්ශ්‍යවකරුවෙකු වන විමල් වීරවංශ අමාත්‍යවරයා සැරසෙන බව පෙනී යයි.
විමල් වීරවංශම මැදිහත්වී මහත් ප්‍රයත්ඥයක් දරා දියසෙන් කුමාරයා නමින් රටට හදුන්වාදුන් ගෝඨාභය රාජපක්ෂ නැමැති උත්තරය දැන් නොගැලපෙන බව ඔහුම පවසයි. පසුගිය වසර දෙක තුල වත්මන් ආණ්ඩුව ගෙන ආ ජාතික සම්පත් විකුණන හා ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු ක්‍රීයාමාර්ග වලට සහාය පලකල විමල් වීරවංශ දැන් ඒ සියල්ල අමතක වුවාක්මෙන් කතාකිරීම විහිළුවකි.
“නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ලබාගත්තු උත්තරය ගැන ජනතාව වේදනාවට පත්වෙලා ඉන්නේ“ යනුවෙන් තමන්ද කැබිනට් ඇමතිධුරයක් දරමින් නියෝජනය කරන වත්මන් ආණ්ඩුව පිලිබදව විවේචනයක්ද මෙහිදී එල්ල කරන ලදි.
“අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝග ගොඩක් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒවාට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා.“ යනුවෙන් වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්ටුව තුල තමන්ද අත ඔසවමින් අනුමත කල තීන්දු තීරණ පිලිබදව මෙහිදී කතා කරන ලදි.
“ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්. අද බැලුවාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ. මං හිතනවා, මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා. සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා. “ යනුවෙන් තමන්ගේ සුපුරුදු වාග් මාලාව මෙවරද දිගහරිමින් නැවත වරක් ඡන්දදායකයා රවටන ඔහුට පුරුදු ආකාරයේ උගුර ලේ රහවෙන ආකාරයේ කතාවක් මෙහිදීද සිදුකරන ලදි.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශනයක් ලෙස “තෙවැනි මග” නැමැති මාසික සඟරාව ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සිදු එළිදක්වමින් ඔහු මෙම අදහස් පලකරන ලදි.
තමන්ම එකතු වී බලයට ගෙනා ආණ්ඩුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට ලක්වෙද්දී සාමුහිකව වගකීම ගෙන ඊට මුහුණ දෙනවා වෙනුවට විමල්ලා මේ සැරසෙන්නේ අසාර්ථකත්වයේ වගකීම සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් පිට පටවා බොරදියේ මාළු බාන්නට බව පැහැදිලිය. වසර දෙකකට පෙර තමන්ම සුදුසු යැයි කියා ජනතාව පොළඹවා ලබාදුන් උත්තරය දැන් තමන්ම නුසුදුසු යැයි ප්‍රසිද්ධියේම කියන්නේ ඒකටය.