ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02NewsSlider

1971 අරගලට අදට වසර පනහයි..

මෙයින් වසර පනහකට පෙර 1971 අප්‍රියෙල් මාසයේ පස්වෙනිදා මැදියම් රාත්‍රියේ එවක බ්‍රිතාන්‍ය මහ රැජිණගේ පාලනය යටතේ ඩොමීනියන් රාජ්‍යයක්ව පැවති ලංකාවේ (Ceylon) පළාත් කීපයක පොලිස් මධ්‍යස්ථාන අබියස ඇසුණු වෙඩිහඬත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ (JVP) නමින් වාමාංශික සන්නද්ධ සංවිධානයක් ක්‍රියාත්මකවෙමින් පවතින බව සමස්ත ලෝකය දැනගත්තේය.

අරගලයේ පළමු වෙඩිමුරය එවක බලයේ සිටි ලංකාණ්ඩුවට ඇසුණේ අප්‍රියෙල් 05 දා අලුයම පහයි තිහට ඌව පළාතට අයත් වැල්ලවාය පොලිසියට එල්ල කෙරුණු ප්‍රහාරයකිනි. ‘අප්‍රියෙල් කැරැල්ල’ යන පොදු ව්‍යවහාරයෙන් ද,’අප්‍රියෙල් නැගිටීම’ වැනි යෙදුම් රැසකින් ද දිවයිනේ දේශපාලන ඉතිහාසයට එක්වූ එම අරගලයට මෙම අප්‍රියෙල් මාසයට වසර පනහක් සම්පූර්ණ වෙයි.

1950-60 දශක ආරම්භ වූයේ ලෝක වාමාංශික දේශපාලනයේ කඩඉම් කීපයක් සනිටුහන් කරමිනි. පනහේ දශකයේ අගභාගයේ මාවෝ සේතුං විසින් නායකත්වය දෙන ලද චීන විප්ලවය ජයග්‍රහණය කරමින් ලෝක සමාජවාදී රාජ්‍ය සිතියමට තවත් රටක් එකතුවිය. සමාජවාදී ලෝකයේ ආශීර්වාදය ඇතිව උතුරු කොරියාව නමින් අලුත් රටක් ලෝක සිතියමට එක්වූ අතර ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් කියුබානු විප්ලවයේ ජයග්‍රහණය සනිටුහන් විය. ඒ සමඟ ‘වියට්කොං’ ගරිල්ලන්ගේ ඇමෙරිකානු අධිරාජ්‍යවිරෝධී අරගලය ජයග්‍රාහී මට්ටමින් පෙරට යමින් තිබුණේ එක අතකින් බටහිර කඳවුරට ත්‍රාසයක් ද ලෝකයේ විමුක්ති ව්‍යාපාරවලට ආශ්වාදයක් සහ උත්තේජනයක් ද ඇති කරමිනි. හැටේ දශකයේ මුල්භාගයේ දී ළදරු කියුබානු විප්ලවීය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති චේ ගෙවාරා ලංකාවේ සංචාරයක නිරත වූයේ තරුණ ආකර්ෂණය දිනාගනිමිනි. එම සියලු දේශපාලන ප්‍රවනතා මගින් සමාජගත කෙරෙමින් තිබූ ජනප්‍රිය වචනය ‘විප්ලවය’ වූ අතර එය ලෝකය පුරා බොහෝ සටන්කාමීන්ගේ සහ ”වරප්‍රසාද අහිමි” සමාජ කණ්ඩායම්වල ඇසින් ඔවුන්ගේ ආර්ථික ගැටලු සඳහා ”එකම විසඳුම් මාර්ගය” සහ ඔවුන්ගේ ”ඉල්ලීම” බවට පත්වෙමින් තිබුණි.

ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සභාග ආණ්ඩුවකට එක්වීමත් සමඟ 1964 දී ගන්නා ලද එම දේශපාලන තීන්දුවත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ගමන්මගෙහි කඩඉමක් තීන්දු කරනු ලැබුණි. එම තීන්දුවත් සමඟ බෙදීගිය ට්‍රොස්ට්කිවාදී දේශපාලන ව්‍යාපාරයේ න්‍යායික ගැටුම කෙළවර වූයේ කුඩා දේශපාලන පක්ෂ කීපයක් බිහිවීමෙනි. මේ අතර චීන-සෝවියට් දේශපාලන මත ගැටුම ලංකාවේ තීන්දු වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂය ‘මොස්කව් පිල’ සහ ‘චීන පිල’ යන සුප්‍රකට යෙදුම මගින් හඳුන්වන ලද දේශපාලන පක්ෂ දෙකක් ලෙස වෙන්ව යාමෙනි. ඒ අතරම ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන එවක ක්‍රියාත්මකවෙමින් තිබූ වාමාංශික දේශපාලන පක්ෂ විසින් ‘ලාංකික විප්ලවය’ පාවාදෙනු ලැබ ඇතැයි චෝදනා කරමින් ‘ගිනිපුපුර’ සහ ‘පෙරදිග සුළං’ වැනි රහසිගතව සංවිධානය වෙමින් පැවති සන්නද්ධ අරගලය ප්‍රධාන සටන් උපක්‍රමය කරගත් කුඩා වාමාංශික සංවිධාන කීපයක් ද විය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් බිහිවීමේ බීජ අවස්ථාව දක්නට ලැබුණේ එවැනි දේශපාලන පරිසරයකය.

”දේශපාලන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ අහඹු දෙයක් නොවෙයි. එය උපත ලබන්නේ පවතින සමාජ-අර්ථ ක්‍රමයේ දිගුවක් හැටියට” ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම සාමාජිකයකු මෙන්ම කලක් එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ලයනල් බෝපගේ පවසයි.

”ලංකා සම සමාජ පක්ෂය 1964 දී ‘වාමාංශික එක්සත් පෙරමුණ’ කඩා බිඳදමමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සමග සභාග ආණ්ඩුවකට ගියේ ඒවනවිට වැඩකරන ජනතාව පැත්තෙන් ඉදිරිපත්ව තිබුණ ඉල්ලීම් 21 පාවාදෙමින්. ඒ නිසා පැරණි වම පිටිපස යාමෙන් දේශපාලන විමුක්තියක් නොමැති බව පෙනීගියා. ඒ සමඟ උද්ගත වූ සැබෑ විප්ලවීය දේශපාලන සංවිධානයක උවමනාව තමයි – නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවීමට අවශ්‍ය දේශපාලන පරිසරය සකස්කරන ලද්දේ” ලයනල් බෝපගේ පැවසීය.

1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. 

‘ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම’ මෙම පක්ෂයේ අරමුණ විය.

“ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත” ලෙස රෝහණ විජේවීර රචනා කළ ‘අත්දැකීම් කිහිපයක්’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

ජනතා විමුක්ති පෙරමුණ සිය සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා රහසිගත මට්ටමින් පවත්වන ලද මූලික දේශන පහකි. පැරණි සාමාජිකයකු විසින් තම සංවිධානයට එකතුකර ගනු ලබන (අලුතින් සාමාජිකයකු බඳවාගනු ලැබීම ‘කොකුගැසීම’ යනුවෙන් හඳුන්වනු ලැබුණි) නවක සාමාජිකයන්ට දැනුම ලබාදීමේ සැලසුමක් අනුව එම පන්ති පහ සකස්කරනු ලැබ තිබුණි. ලංකාවේ ධනේශ්වර ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ලාංකේය විප්ලවයේ උපාය උපක්‍රම සහ ගතයුතු මග යනුවෙන් එම දේශපාලන පන්ති පහ නම්කරනු ලැබ තිබුණි.

පන්ති පහට සහභාගී වූ සාමාජිකයන්ගෙන් තෝරාගත් ”සහෝදරවරුන්” කඳවුරු පුහුණුව සඳහා යැවීම ”ව්‍යාපාරයේ” ඊළඟ පුහුණු පියවර විය. වනගතව හෝ ඉතාම ආරක්‍ෂිත ස්ථානයන්හි පවත්වාගෙන ගිය එම පුහුණු කඳවුරුවල දී ‘පන්ති පහට’ අන්තර්ගත කරුණු ගැඹුරින් සහ සවිතරාත්මකව සාකච්ඡා කරනු ලැබුණි. බොහෝවිට ”ව්‍යාපාරයේ” නායකයා වන ”ලොකු මහත්තයාත්” (විජේවීර) එම අධ්‍යාපන කඳවුරුවලට පැමිණ දවස පුරා එක දිගට දීර්ඝ දේශන පැවැත්වීය. 

අතිශය රහස්‍ය මට්ටමින් අලුතින් ව්‍යාප්තවෙමින් පවතින විප්ලවකාරී තරුණ සංවිධානයක් පිළිබඳ තොරතුරු එලියට ඒමත් සමඟ ඒ කෙරෙහි යොමුවූ සමාජ කතිකාව දැඩි කුතූහලය මිශ්‍ර වූවක් විය. ඇතැමුන් එය හඳුන්වන ලද්දේ ”චේගුවේරා කාරයන්” යනුවෙනි. එය එවක ආණ්ඩුව විසින්ම සංවිධානය කරන ලද ව්‍යාපාරයක් ලෙස ඉදිරිපත්වූ නිර්වචන ද විය. කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිල)අනුග්‍රහයෙන් පළකරන ලද ‘ඇත්ත’ පත්තරය එම රහස්‍ය ව්‍යාපාරය විග්‍රහකරනු ලැබ තිබුණේ ”සී.අයි.ඒ. කෙමනක්” යනුවෙනි.

මේ අතර එතෙක් යටිබිම්ගත දේශපාලනයක නිරතවෙමින් සිටි රෝහණ විජේවීර ආරක්‍ෂාව සඳහා හම්බන්තොට ජූල්ගමුවේ ගොවි නිවසක සඟවා සිටියදී පොලිසිය විසින් 1970 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබීම ඔහු නායකත්වය දුන් රහස්‍ය විප්ලවීය ”ව්‍යාපාරය”රටේ ප්‍රධාන සිරස්තලයක් බවට පත්වීමට හේතුවිය.

ඒ සමඟ ”ව්‍යාපාරය” විසින් මුළු රටපුරා එකවර දියත්කරන ලද ”විජේවීර නිදහස් කරනු!” පෝස්ටර් ව්‍යාපාරය සමඟ ”ජනතා විමුක්ති පෙරමුණ” යන නිලනාමය පළමුවරට සමාජගත වූ බව ලයනල් බෝපගේ පවසයි.

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට ‘චේගුවේරා බියුරෝව’ නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. 

”1970 මහ මැතිවරණයේ දී ”ව්‍යාපාරයේ” සහයෝගය ලැබුණේ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණට. විජේවීර සහෝදරයාට උසාවියෙන් ඇප ලැබිල ආවට පස්සේ එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ ප්‍රකට දේශනය පැවැත්වුවා.”සී.අයි. ඒ. කාරයෝ” යන මාතෘකාව අනුව පැවැත්වූ එම දේශනයෙන් පස්සේ තමයි -ඒ කියන්නේ 1970 දී- ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂ නාමය නිල මට්ටමින් ප්‍රකාශයට පත් කෙරුණේ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මුද්‍රණය කොට බෙදාහරින ලද පුවත්පත නම්කරන ලද්දේ ”ජනතා විමුක්ති” යනුවෙනි. රතු ලංකා, රතුබලය, දේශප්‍රේමී සහ රතු කැකුළු වැනි වෙනත් ප්‍රකාශනත් පසුව නිකුත් කරනු ලැබුණි.

අප්‍රියෙල් අරගලයට පෙර 1971 පෙබරවාරි මාසයේ 21 දින කොළඹ හයිඩ්පාර්ක් පිටියෙහි ජනතා විමුක්ති පෙරමුණේ අවසාන ප්‍රචාරක මහා රැළිය පැවැත්විය.

රෝහණ විජේවීර සහභාගී වූ ප්‍රධාන රැස්වීම්වලට දහස් ගණනින් ජනතාව සහභාගී වූ අතර විජේවීරගේ කතාව අවසානයේ ඔහුට සවන්දුන් බොහෝ කාන්තාවෝ ඔවුන් පැළඳි මාල කරාබු ආදිය එවෙලේම ගලවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පරිත්‍යාග කළහ. තවත් අය මුදලින් මෙන්ම අත් ඔරලෝසු පවා ගලවා ”විප්ලවය” සඳහා පරිත්‍යාග කරන ලද්දේ පොරකමිනි.

”හයිඩ්පාර්ක් රැස්වීම දවසෙම එවකට ආරක්‍ෂක ලේකම් ආතර් රත්නවේල් ප්‍රකාශයක් කරමින්, ‘ජනතා විමුක්ති පෙරමුණ විනාශකර දැමිය යුතු’ බව කියා සිටියා. ඒ සමඟ හදිසි නීතිය පනවනු ලැබුණා. අත්අඩංගුවට ගැනීම්, වදහිංසා සිදුකිරීම් පටන්ගත්තා. පක්ෂයේ පත්තර මුද්‍රණය තහනම් කළා. ගෙවල් ඇතුළේ තියන සාකච්ඡාවලටත් පොලිසිය කඩා පනිමින් අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. මර්දනය දරුණුයි. ඒ තත්ත්වය තුළ අපි අනුගමනය කළේ ”ආරක්‍ෂාව සඳහා ඇති හොඳම උපක්‍රමය සන්නද්ධවීමයි” කියන මාවෝ සේතුං ඉගැන්වීමයි” ලයනල් බෝපගේ සඳහන් කරන්නේ අප්‍රියෙල් මාසය වනවිට උද්ගතව පැවති තත්ත්වය විස්තර කරමිනි.

හයිඩ්පාර්ක් රැළියෙන් පසු විජේවීර සියලු දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන හමුවීමේ සංචාරයක නිරත වූ අතර එහි අරමුණ වූයේ සන්නද්ධ ශක්තිය අධීක්‍ෂණය කිරීම සහ එය ශක්තිමත් කිරීමය. එම සංචාරය අතරවාරයේ මාර්තු 13 දින අම්පාරේ දී රෝහණ විජේවීර සහ ඔහු සමඟ සිටි කෙලී සේනානායක පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.

පස්වෙනිදා රෑ එකොළහට ප්‍රහාරය එල්ල කරන තීන්දුව ගත්තේ – අප්‍රියෙල් 02දා ගංගොඩවිල එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරය වන ‘සංඝාරාමයේ’ දී. එතකොට විජේවීර රඳවා සිටියේ යාපනය බන්ධනාගාරයේ. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් නවදෙනෙක් (විජේවීර හැර) එදා තීරණාත්මක සාකච්ඡාවට සහභාගී වුණා. සනත් – පියතිලක-බෝපගේ-උයන්ගොඩ-නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) – රන්ජිත්-සුනන්ද-සුසිල් වික්‍රම- සහ කරුණාරත්න ඇතුළු නවදෙනෙක්. දීර්ඝ සාකච්ඡාව අවසානයේ ගත්ත තීන්දුව වුණේ පස්වෙනිදා රාත්‍රි එකොළහට පොලීසි ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ලකළ යුතු බවයි.

විද්‍යෝදය සංඝාරාමයේදී පහරදීමේ තීන්දුව ගත් දේශපාලන මණ්ඩල සාමාජිකයන් ඔවුන් යටතේ සිටි ප්‍රාදේශීය නායකයන් ද ඔවුන් හරහා පොලිස් කොට්ඨාස භාර නායකයන් ද දැනුවත්කිරීම සඳහා ඔවුනොවුන්ට භාර දිස්ත්‍රික්ක බලා ගමන් ගත්හ. ජංගම දුරකථන වැනි පහසුකම් නොවූ එම අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මෙන්ම විශ්වසනීය සන්නිවේදන මාර්ගය වූයේ පුද්ගලයන් අතින් පණිවුඩ යවනු ලැබීමේ (Courier) සම්ප්‍රදායයි.

මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය.

නායකයන් විසින් අප්‍රියෙල් 05 දින රාත්‍රී එකොළහට පොලිස් මධ්‍යස්ථාන ඉලක්කකොට පහරදීමට සැලසුම් කරමින් සිටියදී අප්‍රියෙල් පස්වෙනිදා උදෑසන ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟ ආණ්ඩුව සහ මහජනයා පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පවා විශ්මයට පත්විණි. එමගින් කියැවුණේ පස්වෙනිදා උදෑසන 5.30ට වැල්ලවාය පොලිසියට ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයේ දී පොලිස් භටයන් දෙදෙනකු මරණයට පත් වූ බවය.

සැලසුම් කරන ලද පරිදි සෙසු පොලිස් මධ්‍යස්ථානවලට පහර එල්ල කෙරුණේ රාත්‍රි එකොළහේ නියෝගය අනුවය.

ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමීහු පස්වෙනිදා මැදියම් රැයෙහි දිවයින පුරා පොලිස් මධ්‍යස්ථාන 92කට පහරදුන්හ. ඉන් පනස් හතකට අධික පොලීසිවලට හානි සිදුකළ අතර රාජාංගනය, ඌරගහ, කතරගම, දෙනියාය සහ වරකාපොල පොලිසි පහ යටත්කර ගැනීමට සමත්වූහ.

ඇල්පිටිය ඇතුළු ප්‍රදේශය කිහිපයක් ජවිපෙ පාලනය යටතට පත්වූ අතර ප්‍රහාරයට ලක්වූ පොලීසි ඉවත් කරගනු ලැබීමෙන් පසු එවැනි තවත් ප්‍රදේශ කීපයක් ද ඔවුන් අතට පත්විය.

අප්‍රියෙල් හයවෙනිදා උදෑසන වනවිට ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භකළ අතර ”රාජ්‍යවිරෝධී ත්‍රස්තවාදී කැරැල්ල මැඩලීම සඳහා” ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියේය. ඒ අනුව අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම රුසියාව, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් සෘජුව යුද්ධාධාර සැපයීමට ඉදිරිපත් විය.

ඉන් අනතුරුව ද දිවයිනේ පළාත් කීපයක පැවති සටන් පිළිබඳ වාර්තාවූ නමුත් මසක් ඇතුළත ‘අප්‍රියෙල් නැගිටීම’ සම්පූර්ණයෙන් පරාජය කිරීමට ආණ්ඩුවේ සන්නද්ධ හමුදා සමත්වූහ.

අරගලයට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.

එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.

මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස්‌ කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී. රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.

කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.

1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය.

ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස්‌ වූහ.