ColomboXnews

News | Gossip | Political | Entertainment

MythNewsSlider

ෆාතිමාගේ මරණය සම්බන්ධයෙන් මව සහ ශාන්තිකර්මය කළ කාන්තාව අධිකරණය හමුවට

මීගහවත්ත ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතර තුර දී දැරියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් ප්‍රහාරයක් හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දිනයේ දී රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 6ක් පමණ පොලීසිය විසින් ලබාගෙන ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද කියා සිටියේය.

ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි එම දැරිය පදිංචිව සිටියේ දෙල්ගොඩ, මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේය.

පසුගියදා ඇයට අමුනුෂ්‍ය දෝෂයක් ඇති බවට අනුමාන කළ ඇයගේ මව 27 වන දා ඇයව යාබඳ නිවසකට රැගෙන යන්නේ ශාන්ති කර්මයක් සිදුකිරීමටය.

එහිදී ශාන්තිකර්මය සිදුකරනු ලබන කාන්තාව ඇයට පළමුව තෙල් සත්කාරයක් ලබා දී තිබේ.

අනතුරුව දැරිය තුළ සිටින යක්ෂයා එළවීමට අවශ්‍ය බව පවසමින් අදාළ කාන්තාව දැරියට වේවැල් කිහිපයක් කැඩී යනතුරු පහරදී ඇත. 

එම පහරදීම හමුවේ සිහිසුන් වූ දැරිය බියගම රෝහළට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කළේය.