මහින්දගේ ගුවන් ගමන් වාර්තා ජනාධිපති කාර්යාලය සඟවයි
හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සිදුකළ ගුවන් ගමන් වාර ගණන කොපමණද යන්න පිළිබඳවත්, ඒ සඳහා ගිය වියදම් පිළිබඳවත් වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලු තොරතොරු ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.
උතුරු ප්‍රදේශයේ මාධ්‍යවේදියකු විසින් මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ජනපති කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු පසුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.
එම කොමිෂන් සභාව මැදිහත් වී අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තතුවිමසා ඇති අතර ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත්තේ එවැනි වාර්තා සහිත ලේඛණයක් තම කාර්යාලය විසින් පවත්වාගෙන නොගිය බවයි.
තවද ආරක්ෂක හේතුන් මත එවැනි ලේඛණයක් පවත්වාගෙන යාමට ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍යතාවක් නොවන බවද ඔහු පවසා තිබේ.
ඒ නිසා හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ගුවන් ගමන් වාර ගණන හෝ ඒ සඳහා වැය වූ මුදල් පිළිබඳව වාර්තාක් ලබාදීමට ප්‍රමාණවත් තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බවට ලිඛිතව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
මේ සම්බන්දයෙන් අප කළ විමසුමකදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික එස්.ජි.පුංචිහේවා මහතා කියා සිටියේ මහජන මුදල් වැය කරමින් කටයුතු කරන ඕනෑම දේශපාලඥයෙකුගේ තොරතුරු ලබාදීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැඳී සිටින බවයි.
එසේ නොකරන රාජ්‍ය ආයතනයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රතිපාදන ඇති බවද පැවසීය.