ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මුද්‍රණාලයාධිපති ඇතුලු පුරප්පාඩු ගණනාවක්..! රජයේ මුද්‍රණාලය කොට උඩ..!

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා සුදුසුකම් සහිත මුද්‍රණාලයාධිපතිවරයකු නොමැතිවීම හේතුවෙන් එහි වැඩකටයුතු මුළුමනින් අඩපණවී විශේෂ ආරක්ෂා සහිතව මුද්‍රණය කළ යුතු රජයේ රහස් ලියැවිලි මුද්‍රණය පවා පෞද්ගලික අංශයට දීමට සිදුවන තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

එහි සේවකයින් පෙන්වා දෙන අන්දමට 2012 ජූලි මාසයෙන් පසුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා මුද්‍රණාලයාධිපතිවරයකු නොමැති අතර ඒ වෙනුවට සිටින්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකි.

එසේම මුද්‍රණාලයාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා නිසි සුදුසුකම් සහිත නිලධාරීන් ගණනාවක්ම සේවයෙහි යෙදී සිටියත් එම කිසිවකුත් එම තනතුරට පත් කිරීම සඳහා අමාත්‍යාංශය පියවර ගෙන නොතිබීම ගැන ද සේවකයෝ විරෝධය පළ කර සිටිති.

රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සලකන්නේ රජයේ මුද්‍රණ උපදේශකවරයා ලෙස වන අතර යම් අධිකරණමය කටයුතුවල දී ඔහුගේ සාක්ෂිය ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ මතය ලෙස සැලකේ. මෙම තනතුර සඳහා සුදුසුකම් ලෙස මුද්‍රණ විෂය සම්බන්ධයෙන් ලොව ඉහළම ආයතනයක් ලෙස සැලකෙන ‘ලන්ඩන් කොලේජ් ඔෆ් ප‍්‍රින්ටින්’ ආයතනයේ වෘත්තීය පුහුණු සහතිකය හෝ ඒ හා සමාන සහතිකයක් තිබිය යුතු බව මුද්‍රණ සේවා පනතෙහි දැක්වේ. එම සුදුසුකම් සැපිරූවන් තිදෙනකු මේ වන විට මෙම ආයතනයේ සිටින නමුත් වත්මන් පරිපාලන නිලධාරියාට එවැනි සුදුසුකම් නොමැත. 1802 දී පිහිටුවන ලද රජයේ මුද්‍රණාල ඉතිහාසය පුරා සුදුසුකම් රහිත පුද්ගලයන් මෙහි ප‍්‍රධානත්වයට පත් වූයේ 2012 න් පසුව පමණි.

අවසන් වරට සුදුසුකම් සහිත නිලධාරියකු වන ලලිත් ද සිල්වා මහතා මෙහි වැඩ බලන මුද්‍රණාලයාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණත් ඔහු මංගල සමරවීර මහතාගේ හිතවතකු යැයි සැලකීම නිසා රාජපක්ෂ ආණ්ඩුව ඔහුට ස්ථිර පත් වීමක් ලබා නොදුන්නේය.

කෙසේ නමුත් මේ වන විට මුද්‍රණාලයාධිපති තනතුර පමණක් නොව ජේෂ්ඨ නියෝජ්‍ය මුද්‍රණාලයාධිපතිවරු 4 ක්, අතිරේක මුද්‍රණාලයාධිපතිවරු 2ක් හා සහකාර මුද්‍රණාලයාධිපතිවරු 9කගේ පුරප්පාඩු වසර ගණනාවකින් පුරවා නොමැත. මේ තත්ත්වය මත මුද්‍රණාලයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමේ කටයුතු අඩපණව ඇති අතර මේ වන විට ඉතා සුරක්ෂිත වටපිටාවක් තුළ සිදු කළ යුතු තැපැල් මුද්දර, විභාග ප‍්‍රශ්න පත‍්‍ර, ගැසට් පත්‍ර හා වෙනත් රහස්‍ය ලේඛන ආදිය මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයේ මුද්‍රණාලවලට පැවරීමට සිදුව තිබෙන බව ද එම සේවකයෝ පවසා සිටිති.

එමෙන්ම මුද්‍රණාලය මෙලෙස අයාලේ යාමට ඉඩ දී තිබෙන්නේ මෙම ආයතනයත් පෞද්ගලිකකරණය කිරීමටදැයි බරපතළ සැකයක් ඇතිව තිබෙන බවත් සේවකයෝ පවසා සිටිති.