ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජවිපෙ – එජාප සාකච්ඡා සාර්ථකයි – විධායකය අහෝසි කරන්න එජාපය එකඟතාවය පළකරයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙටුම්පත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජවිපෙ නායකයන් ඊයේ (22) එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසිණි. ජවිපෙ පවසන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට එජාපය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව වික්‍රමසිංහ මහතා මෙහිදි  දැනුම් දුන් බවයි.
එහිදී අගමැතිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා මූලික එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ. එජාපය විධායකය අහෝසි කිිරීමේ ස්ථාවරයක සිටියද එම පක්ෂය මේ වනවිට තවත් පක්ෂය කිහිපයක් සමගින් එක්සත් ජාතික පෙරමුණ ලෙස ක්‍රියාත්මක වන බැවින් සෙසු පක්ෂවල අදහස්ද සැලකිල්ලට ගතයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එම පක්ෂවලට ස්ථාවරයද සලකා බැලීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ තීරණය දැනුම් දෙන බවයි ඔහු ජවිපෙ නායකයන් වෙත පවසා ඇත්තේ.
පාර්ලිමේන්තුවේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවති අතර මේ සඳහා අගමැතිවරයා සමග මලික් සමරවික්‍රම ඇමතිවරයා ද සහභාගි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර දිසානායක, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබේ.
ජවිපෙ කෙටුම්පත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වන අතර ජවිපෙ මේ දිනවල ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් සිටී. මීට පෙර ඔවුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පැවැත්වූ අතර ඉදිරි දිනවලදී රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන් යන පක්ෂ නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.