ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවට දින තීන්දුයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වනදා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) නියම කර ඇත. මෙහිදී අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවය.

අධිකරණය මඟින් ප්‍රකාශිත නඩු තීන්දුවක් හෝ නඩු විභාගයක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අධිකරණයට හානිකර කිසිම දෙයක් ඔහු විසින් සඳහන් කර නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (13) මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය.

අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පත් කළ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවය.

ඊට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කල නොතීසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ කර ඇත.