ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රට පුරා වසංගතයක් මෙන් පැතිරී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170 වැනි ජීවිතයත් බිලිගනියි

මේ වන විට රට පුරා වසංගතයක් මෙන් පැතිරී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ 170 වැනි මිනිස් බිල්ල පසුගියදා පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයෙන් වාර්තා විය. දියබෙදුම ඇළකිඹුලාවල ප්‍රදේශයේ දෙදරු පියෙක් ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතයන්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව මේ අන්දමින් ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.

ආයතන ගණනාවකට ණයගැතියෙකුව සිටි ඔහු, ගම් පළාත හැර දමා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයක මේසන් වැඩ කරමින් සිටි අතර, ගමට ගිය අතරවාරයේ ඔහු පැමිණි බව ආරංචි වී ක්ෂුද්‍ර මූල්‍ය වාරික එකතුකරන්නන් කිහිප දෙනෙකු විසින් ඔහුව වටකරගෙන බැණ වැදී ඇති බවත්, එයින් හටගත් සිත් වේදනාව හේතුවෙන් ඔහු කැලෑවට වැදී ගෙළ වැළලාගෙන ඇති බව වාර්තාවේ. මාස 3 ක් පමණ කොළඹ ප්‍රදේශයේ මේසන් වැඩ සඳහා මේ පුද්ගලයා පැමිණ තිබෙන්නේ ද ණය ගෙවීමේ අරමුණිනි. එහිදී ඔහු ගමෙන් පළා ගියා සේ සලකා ක්ෂුද්‍ර මූල්‍ය ණය එකතු කරන්නන් විසින් ඔහුගේ පවුලේ අය සහ ඔහුගේ ඇපකරුවන් දැඩි පීඩනයකට හසු කර ඇති බව ද වාර්තා වේ.

ඔහු ණය ලබාගෙන තිබෙන්නේ LOLC සහ එල්ඕඑල්සී සමාගටම අනුබද්ධිත Brac Lanka Finance (මෙය මීට පෙර නන්දා ඉන්වෙස්ට්මන්ට් ලෙස හැඳින්වූ සමාගම) වෙතින් පිළිවෙළින් රුපියල් 50,000 ක් සහ රුපියල් 30,000 බවත් විශ්වාසදායක ආරංචි මාර්ග වෙතින් අප වෙත වාර්තා වේ.

මේ වන විට නියඟයෙන් පීඩා විඳි දිස්ත්‍රික්ක 12 ක ජනතාවට රජයේ රුපියල් ලක්ෂයක ණය කපාහැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇතත්, එයින් සහන ලබා සිටින්නේ දැනට අසීරුවෙන් ණය ගෙවිමන් සිටින පුද්ගලයන් අතරින් අතිශය සුළු ප්‍රතිශතයකි. එයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ සහ ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි ණය සමාගම්වලින් ණය ලබාගත් පුද්ගලයන්ට පමණක් මේ සහනය ලබාදීමත්, ඒ සඳහා සුදුසුකම් ලැබීමට නම් 2018 ජූනි 30 වන විට නෙගෙවූ මාස 3 ක ණය හිඟයක් පැවතිය යුතු වීමත් ය.

ලංකාවේ ලක්ෂ 24 ක ග්‍රාමීය ජනතාවක් මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ වැටී සිටිති. එයින් 90%කට වඩා කාන්තාවන් ය. කිසිදු ලියාපදිංචියකින් තොරව සහ, බලපත්‍ර රහිතව මෙම කර්මාන්තයේ යෙදෙමින් අධික පොලී ප්‍රතිශත හරහා අධික ලාභ උපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනද දහස් ගණනක් ලංකාවේ තිබේ. ඒවා නියාමනය කිරීම සඳහා කිසිදු විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා මහබැංකුව මෙතෙක් සමත් වී නැත.