ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ කිසිවෙකුටත් 20වැනි සංශෝධනයට එරෙහි වෙන්න බැහැ – අනුර දිසානායක

ශිෂ්ටත්වයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ කිසිවෙකුටත් 20වැනි සංශෝධනයට එරෙහි විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ,  ඊයේ (25) බත්තරමුල්ල ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක,

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජවිපෙ විසින් 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යැයි අප ප‍්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් රට තුළ විශාල ආන්දෝලනයක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ මත ප‍්‍රකාශ වෙමින් තිබෙනවා. 1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් ප‍්‍රබල තනතුරක් ලෙස විධායක ජනාධිපතිධුරය බිහිවූ දා සිට ඊට එරෙහිව ප‍්‍රගතිශීලී බලවේග, සිිවිල් සංවිධාන, දේශපාාලන පක්‍ෂ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූම දෙනා මත ඉදිරිපත් කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය ගත්තත් විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව කටයුතු කළා. 1988දී සිරිමා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඇයගේ ප‍්‍රධාන සටන්පාඨය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවයි. එමෙන්ම 1994 සහ 1999දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රබල සටන්පාඨය වුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි. එතැනින් නොනැවතුණු ඇය 2000දී ඒ සඳහා ව්‍යවස්ථාවක් ගෙනාවා. 2005, 2010, 2015 ජනාධිපතිවරණවලදී ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ කොටගත් අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණා. ඒ වගේම මේ සියලූම දෙනා යුද්ධය පැවති සමයේදීත් යුද්ධයෙන් පසුවත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ජනතාවට පෙරොන්දු වෙලා තිබෙනවා. ඒ වගේම 13වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනයට පෙරත් සංශෝධනයෙන් පසුවත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඔවුන් ජනතාවට පොරොන්දු දුන්නා. ජනවරම ලබාගැනීමෙන් පසුව සියලූ දෙනා ජනවරමට ප‍්‍රතිපක්‍ෂව කටයුතු කළා.

විධායක ජනාධිපතිධුරයේ නිර්මාතෘන් වන එක්සත් ජාතික පක්‍ෂයත් අවස්ථා දෙකකදී ඔවුන්ගේ පක්‍ෂ සමුළුවලදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ තීරණ අරගෙන තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂය 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මැතිතුමාට සහාය දෙමින් 2015 ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්‍ෂකයාට සහාය දීමේදීත් ප‍්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට එකඟවී තිබෙනවා.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය වූ දිනයේ සිට විවිධ අවස්ථාවලදී නිශ්චිත ලෙස ජනාධිපතිවරණවලදීත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප උත්සාහ කළේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ග ගැනීමටයි. 1982දී නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙකු පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමේදීත්් අපේ අරමුණ වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක 1995 ජූලි 15වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ එකඟතාවය මත ජවිපෙ විසින් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්‍ෂකයා ඉල්ලා අස්වුණා. ඇය ලිඛිත එකඟතාවයක් දුන්නා. නමුත් ක‍්‍රියාත්මක නොවීම හේතුකොටගෙන අපි වර්ෂ කිහිපයක්ම ජූලි 15වැනිදා උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගත්තා. 2005 මහින්ද රාජපක්‍ෂ මහතාත් 2010දී සරත් ෆොන්සේකා මහතාත් 2015දී මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ජවිපෙ උපක‍්‍රමය වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරගැනීමේ කි‍්‍රයාමාර්ග සඳහායි. අනෙකුත් ව්‍යාපාරවලට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අපි විධායක ජනාධිපතිධුරය නිසා රටට ඇතිවිය හැකි විනාශයන් පිළිබඳව දේශපාලනයේ පිරිහීම පිළිබඳවත් අශිෂ්ට රාජ්‍යයක් ඇතිවීමේ අවදානම පිළිබඳවත් රටට අවධාරණය කළා. විධායක ජනාධිපතිධුරය විටෙක වියරු ආකාරයෙන්ද තවත් විටෙක නිවට නියාලූ ලෙසද ක‍්‍රියාත්මක වීම නිසාය රටට ඇතිවී තිබෙන ප‍්‍රතිඵලයන් පිළිබඳව ජනතාවට ඕනෑවටත් වඩා අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තමයි, විධායකය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ගවලට එළඹීමට ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ.

20වැනි සංශෝධනය අප ඉදිරිපත් කරන්නේ ඒ වුවමනාවට අනුවයි. ඇතැම් අය චෝදනා කරනවා මෙම යෝජනාව ඉදිරිපත් කරන්න කලබල ඇයි කියලා. ඇත්තටම තිබෙන්නේ කලබලයක් නොව ප‍්‍රමාදයක්. වර්තමාන ජනාධිපතිවරයාගේ දින 100 ඇතුළත විධායකය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ග ගත යුතුව තිබුණා. වත්මන් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ඒ බව පොරොන්දු වුණා. නමුත් කි‍්‍රයාත්මක වුණේ නැහැ. ඒ වගේම ඇතැම් අය ප‍්‍රශ්න කරනවා මේ මොහොතේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඇයි කියලා. මේ පාර්ලිමේන්තුව යටතේ නව ව්‍යවස්ථාවක් සඳහා සාකච්වඡාක් තිබුණා. ඒ සඳහාත් ජවිපෙ දායකත්වය තිබුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යන මූලික වුවමනාව මතයි. අවුරුදු 2කට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වුණා. ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තුවේ දින 5ක විවාදයක් පැවැත්වුණා. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම ක‍්‍රියාවලිය ඇණහිට තිබෙනවා. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ඇතුළේ මෙම කාර්යය ඉටුකර ගත නොහැකි තත්වයක් උදාවෙලා තිබෙන නිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි කල්පනා කළා, ඒ සඳහා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකට යා යුතුයි කියලා.

අපි දන්නවා, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලින් පමණක් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අපි විශ්වාස කරනවා, රටටත් ජනතාවටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම වෙනුවෙන් එම ප‍්‍රතිසංස්කරණවලට යා යුතුයි කියලා. මේ මොහොතේ මතුවෙලා තිබෙන ව්‍යාකූල තත්වය මත නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමට වාසිදායක තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. පවතින ආණ්ඩුව ශක්තිමත් වූ සෑම අවස්ථාවකම ඉදිරිපත් වී තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළ පල්ලට යන සංශෝධනයි. ආණ්ඩුව දුර්වල වන විට තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරගැනීම වෙනුවෙන් නීති සම්පාදනය වෙන්නේ. උදාහරණයක් හැටියට 2001දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව අර්බුදයට ගිය වෙලාවේ ජවිපෙ මන්තී‍්‍රවරුන් 10 දෙනා ඒ වෙලාවේ බල තුලනය කළමනාකරණය කරලා 17වැනි සංශෝධනය සම්මත කරගත්තා. 19වැනි සංශෝධනයත් සම්මත කරගැනීමට හැකි වුණේ මේ ආණ්ඩුවේ තිබුණු බල තුලනය මතයි. රනිල් වික‍්‍රමසිංහට ජනාධිපතිධුරයත් ආණ්ඩුවේ බලයත් තිබුණා නම් 19වැනි සංශෝධනය එන්නේ නැහැ. ඒ වගේම මෛතී‍්‍රපාල සිරිසේනට ජනාධිපති බලයත් ආණ්ඩුවේ බලයත් තිබුණා නම් 19 සම්මත වෙන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 162ක බලය තිබුණ අවස්ථාවේදී තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළන 18වැනි සංශෝධනය සම්මත කර ගත්තේ. ඒ නිසා අපි කල්පනා කරනවා 20වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවේ පවතින මෙම බල තුලනය ඉතාම වාසිදායක තත්වයක් වෙයි කියලා.

දැන් පවතින ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් වන්නේ, ජනාධිපතිවරයායි. නමුත් 20වැනි සංශෝධනයට අනුව රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයායි. ඔහු ජනතා ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවේදී මාසයක් ඇතුළත පත්කරගත යුතු වෙනවා. 20වැනි සංශෝධනයට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ අගමැතිවරයායි. අගමැතිවරයා පත්වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඔහු කැබිනට් මණ්ඩලයේත් නායකයායි. ජනාධිපතිවරයා සතුව පවතින බලතල කැබිනට් මණ්ඩලයට, අගමැතිවරයාට, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට හා ව්‍යවස්ථා සභාවෙන් පත්කරන කොමිෂන් සභාවලට පැවරෙනවා. තනි පුද්ගලයෙකු සතු බලතල පොදු සාමූහිකත්වයක් දරන ආයතන සඳහා පැවරෙනවා. එනිසා මෙම යෝජනාව ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ඉතාම යහපත් එකක්. තනි පුද්ගලයෙකුට අසීමිත ලෙස අධිකාරී බලයක් ලබාදීලා යටත් වැසියන් ලෙස සිටිමින් අශිෂ්ටත්වය කරා යනවාද, එසෙත් නැතිනම් එම අධිකාරී බලය සාමූහිකත්වයේ තිබෙන ආයතනවලට පවරා දී ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගනවාද යන්න අපි සියලූ දෙනා කල්පනා කළ යුතුව තිබෙනවා.

ඇතැම් අය තර්ක කරනවා, 20වැනි සංශෝධනය මගින් රනිල් වික‍්‍රමසිංහට ජනාධිපතිවරයා සතු බලතල පවරා දීමට ජවිපෙ කටයුතු කරනවා කියලා. එය පදනම් විරහිත කතාවක්. ඔවුන් අපිට මුලින් චෝදනා කළේ, රනිල් වික‍්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය කඩාකප්පල් කිරීම සඳහා ජවිපෙ 20වැනි සංශෝධනය ගෙනඑන බවයි. නමුත් එම චෝදනාව අසත්‍යයක් බව තහවුරු වුණා. එනිසා දැන් ඔවුන් චෝදනා කරනවා, මෛතී‍්‍රගේ බලය රනිල්ට අරන් දෙන්න කටයුතු කරනවා කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා, 20වැනි සංශෝධනය නිසා දැන් තිබෙන බලතලවලට අමතරව ‘අයන්න’ක හෝ බලයක් අගමැතිවරයාට ලැබෙන්නේ නැහැ කියලා. මොකද 20වැනි සංශෝධනය කි‍්‍රයාත්මක වෙන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිධුර කාලයෙන් පසුවයි. කාට හෝ තර්ක කරන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂට බලයක් හදලා දෙන්න කටයුතු කරනවා කියලා. මොකද දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂට රටේ නායකයා හෝ ආණ්ඩුවේ නායකයා වීමට නොහැකියි. 20වැනි සංශෝධනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂට ආණ්ඩුවේ නායකයා වීමට අවස්ථාවක් උදා වෙනවා.

තවත් තර්කයක් ඉදිරිපත් වෙනවා 13වැනි සංශෝධනය කි‍්‍රයාත්මක වෙමින් තිබියදී 20වැනි සංශෝධනය ගෙනඒම ගැටලූවක් කියල. නමුත් 88, 94, 99, 2005, 2010 හා 2015 යන සියලූම අවස්ථාවලදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණේ 13 සංශෝධනය තිබියදීයි. 13වැනි සංශෝධනයට අනුව ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. 20වැනි සංශෝධනය අනුවත් එම බලතල ජනාධිපතිවරයාටම පැවරෙනවා. ඒ වගේම මේ සියලූම දෙනා යුද්ධය ප‍්‍රබලව තිබෙන කාලයේදී තමයි විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණේ. ඇත්ත තත්වය ගත්තොත් යුද්ධය ප‍්‍රබල ලෙස නිර්මාණය වීමට විධායක බලතල උපයෝගීවී තිබෙනවා. 1982 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීමටත් 83 කළු ජූලිය නිර්මාණය වීමටත් විධායක බලතල හේතු වුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් ආයුද සහ මුදල් ලබාදීම පිළිබඳවත් මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ලබාදීම පිළිබඳවත් විධායක බලතල භාවිතා වී තිබෙනවා. ඒ නිසා යුද්ධය තීව‍්‍ර කරන්න විධායක ජනාධිපති ක‍්‍රමය උපයෝගී වෙලා තිබෙනවා. යුද්ධය අවසන් කරන්න ජනාධිපතිධුරය උපයෝගී වුණා කියලා තර්ක කරනවා නම්, ඇත්තටම යුද්ධය අවසන් වුණේ පස් වැනි ජනාධිපතිවරයාගේ කාලයේදී. ඒ නිසා මෙම තර්ක පදනම් විරහිත ඒවායි.

ඒ වගේම ජවිපෙට චෝදනා කරනවා රට තුළ අරාජිකත්වයක් හදන්න 20වැනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියලා. 19වැනි සංශෝධනය යනු යම් අන්තර් කාලීන යෝජනාවක්. 19 සම්මත වනවාත් සමගම ඉතාම කෙටි කාලයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා. නමුත් එය සිදු නොවීම නිසා යම් අස්ථාවර බවක් මතුවෙලා තිබෙනවා. එම නිසා අඩුම තරමේ ස්ථාවරභාවයක් හදන්න 20වැනි සංශෝධනය යොදාගත හැකි වෙනවා. ඒ නිසා ඇත්තටම සිදුවන්නේ අස්ථාවර වෙලා තිබෙන රට 20වැනි සංශෝධනය මගින් ස්ථාවර වීමයි. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය සමග මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි කියලා කවුරු හෝ තර්ක කරනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න අපි සූදානම්.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා නුවරදී ප‍්‍රකාශ කළා, ඔහු පෞද්ගලිකව විධායක ජනාධිතිධුරය අහෝසි කරන්න එකඟයි කියලා. එම කණ්ඩායමේ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මාධ්‍ය හමුවක් පවත්වලා එකඟතාවය පළකොට තිබෙනවා. එම කණ්ඩායමේ ප‍්‍රබල ප‍්‍රකාශකයෙක් වන බන්දුල ගුණවර්ධන කියලා තිබුණා, විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න එකඟයි, නමුත් එය කි‍්‍රයාත්මක වනවාත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා. ඒනිසා ඔවුන්ගේ පළමු ප‍්‍රවේශයට අපි ස්තුතිවන්ත වෙනවා. කොන්දේසි යටතේ හෝ ඔවුන් විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව පිළිඅරගන තිබෙනවා. ඒ නිසා එම කොන්දේසි පිළිබඳව අපි සාකච්ඡුා කරන්න සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ මෙම සංශෝධනය ගෙනඑනු ලබන්නේ බල වුවමනාව වෙනුවෙන් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම සඳහායි. කවුරුන් හෝ මේ මත පදනම් වෙලා තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙනවා.

20වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍යයයි. මෙය ජවිපෙට තනියෙන් කළ හැකි දෙයක් නොවෙයි. එනිසා අනෙකුත් පක්‍ෂ සමඟ සාකච්ඡුා කළ යුතුව තිබෙනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා, අගමැතිවරයා, මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායම, ආණ්ඩුවට සහාය දෙන අනෙකුත් දේශපාලන පක්‍ෂ ඇතුළු මෙම යෝජනාවට පක්‍ෂ, විපක්‍ෂ සියලූ දෙනා සමඟ සාකච්ඡුා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාම වාසිදායක අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උපරිම ලෙස ප‍්‍රයෝජන ගන්න අපි ක‍්‍රියාත්මක වෙනවා. මේ වනවිට කෙටුම්පතේ විශාල ප‍්‍රමාණයක් අවසන් කොට තිබෙනවා. ඉතිරිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් පක්‍ෂවල යෝජනා, අදහස් ලබා ගන්නවා. අනතුරුව මැයි මාසය ඇතුළත මෙම යෝජනාව පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම සිවිල් සංවිධාන, බුද්ධිමතුන් සහ රටේ ජනතාව සමඟ මේ සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භ කරනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් අනුර දිසානායක,

20 සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයාට විධායක බලතල හිමිවන්නේ නැහැ. නමුත් යම් බලතල ප‍්‍රමාණයක් ඔහුට තිබෙනවා. රාජ්‍ය නායකයා වන්නේ ඔහු. ඒ වගේම සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයායි. ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලයත් ඔහුට හිමි වෙනවා. නමුත් දැන් ජනතාව විසින් පත්කරන ජනාධිපතිවරයාට අසීමිත බලතල හිමි වෙනවා. නමුත් 20වැනි සංශෝධනයෙන් පසුව එම අසීමිත බලතල ජනතාව විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තුවට අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලය යටතට පත්වෙනවා. මෙතෙක් කල් ජනාධිපතිවරයා ජනතාව විසින් පත් කළත් ඔහු කටයුතු කළේ ජන වරමට පටහැණිවයි. එම විධායක බලතල සහිත ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා, ප‍්‍රාදේශීය සභාවල බලය ශුන්‍ය කර තමන්ට ඕනෑ විදිහට පාලනය කරනවා. ඇමතිවරුන් ලයිට්කණු බවට පත් කරනවා. ඒ නිසා එවැනි තත්වයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැණියි.

20වැනි සංශෝධනයට සහාය වන පිරිස් ඔවුන්ගේ සහාය ලබාදෙන්නේ අවංකවද, වංකවද කියලා අපිට විග‍්‍රහ කරගන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඔවුන් සහාය ලබා දෙන්නේ වංකවද, අවංකවද යන්න අදාළ කාරණයක් නොවෙයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපි ඒ සියලූම දෙනාට මෙයට සහාය ලබාදෙන ලෙස ආරාධනා කරනවා. මොකද, මෙය ජනතා විමුක්ති පෙරමුණේ පමණක් වන කාර්යභාරයක් නොවෙයි.

අපේ රටේ ඕනෑම කි‍්‍රයාමාර්ගයක් පිළිබඳව යම් අධිකාරී බලයක් සතු කණ්ඩායම් මාධ්‍ය බලයත් උපයෝගී කරගෙන ඔවුන්ට වාසිදායක ලෙස රටේ මතය වෙනස් කරනවා. ඔවුන්ගේ දේශපාලන වුවමනාවට අනුව ඕනෑම කි‍්‍රයාමාර්ගයක් විග‍්‍රහ කරනවා. නමුත් අනෙකුත් කි‍්‍රයාමාර්ගවලදී මෙන් නොව මෙම 20වැනි සංශෝධනය හා බැඳුණු කි‍්‍රයාමාර්ගයේදී ඒ සියලූම දෙනා ජනතා විමුක්ති පෙරමුණ සමඟ මුහුණට මුහුණ හමු වෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම කි‍්‍රයාමාර්ගය පිළිබඳව අසත්‍ය මත ගොඩනැගීමට ඉඩ තබන්නේ නැහැ. අපි ඉතාම විශ්වාසයකින් ඉන්නවා, මෙම යෝනාවලිය ඉදිරිපත් වෙන්නේ ශිෂ්ටත්වය වෙනුවෙන් නිසා සියලූ දෙනාම මෙය අනුමත කරයි කියලා. අශිෂ්ඨත්වයට කැමති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඕනෑම කෙනෙකුට මෙම යෝජනාවට විරුද්ධ වීම සඳහා කරුණු හොයාගත හැකියි. ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම යෝජනාව ගෙන එන්නේ ජයග‍්‍රහණය කිරීම සඳහායි. මේ සඳහා ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග අපි ගන්නවා.

අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්තී‍්‍රවරු විකිණෙන මන්තී‍්‍රවරු බව කවුරුත් දන්නවා. එවැනි දේවල් ව්‍යවස්ථා සංශෝධනවලින් වළක්වන්න බැහැ. විකිණෙන මන්තී‍්‍රවරුන් පත්කිරීම පිළිබඳව ජනතාවත් වගකීම බාරගත යුතුව තිබෙනවා. නමුත් පක්‍ෂ මාරු කිරීම වැළැක්වීම ශක්තිමත් කිරීම සඳහා යම් සංශෝධනයක් ඉදිරිපත් වනවා නම් ඒ සඳහා අවස්ථාව උදාකරගන්න අපි සූදානම්.

ඇතැම් අය ඉතාම පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරනවා. 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව කාරකසභා අවස්ථාවේදී බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ ඉඩක් තිබෙන බවට ඉතාම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙම කි‍්‍රයාමාර්ගය රෝ ඔත්තු සේවයේ වැඩක් බව ප‍්‍රකාශ කරනවා. ඔවුන් තමයි රෝ ‘මීටරය’ බවට පත්වෙලා තිබෙන්නේ. ඔවුන්ට අනුව බන්දුල, බැසිල්, එක වෙලාවක රෝ ඔත්තුකරුවන් වෙනවා. තවත් වෙලාවක ඔත්තුකරුවන් නොවෙනවා. ඇත්තටම ඔවුන්ට තිබෙන්නේ රෝගයක්.

ජනතා විමුක්ති පෙරමුණ කිසි විටෙකත් මුදල්වලින්, වරදාන, වරප‍්‍රසාදවලින්, බියගැන්වීම්වලින් යටපත් වන පක්‍ෂයක් නොවෙයි. ඒ වගේම අපේ කි‍්‍රයාමාර්ග මුදල් මත, වරදාන-වරප‍්‍රසාද මත, බිය ගැන්වීම් මත වෙනස් වන්නේ නැහැ. අපේ සියලූම කි‍්‍රයාමාර්ග තීරණය වන්නේ ජනතාවටත් රටටත් කොයි තරම් වාසිදායකද යන්න මතයි. ඒ නිසා රටේත් ජනතාවගේත් හිතකර මීටරයට අනුවයි ජනතා විමුක්ති පෙරමුණේ අපි වැඩ කරන්නේ. අපිට අවලාද එල්ල කරන පුද්ගලයින් වරදාන-වරප‍්‍රසාදවලට යට වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හෙළිදරව් කරනවා කියලා ඔවුන් බිය ගන්වා යටපත් කරන්න පුළුවන්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එසේ බිය ගන්වා යටපත් කරන්න බැහැ.

මෙම අවස්ථාවට ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද  සහභාගී වූහ.