නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට ෆේස්බුක් නව නීති රීති හදුන්වාදෙයි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති ඊයේ (24) ප්‍රසිද්ධියට පත් කළේය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එලෙස එම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද හා පදනම් කරන ලද නීති මෙලෙස ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පළමු වරටය. ෆේස්බුක් සමාගම මෙලෙස පළමු වරට එම නීති ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පිටු 27ක ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කරමින්. බිලියන 2ට වැඩි පරිශීලකයන් පිරිසකගෙන් සන්නද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පසුගිය කිහිපයක කාලයේදී බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්විය.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල තිබෙන අන්තර්ගත ඉවත් කිරීමේදී ඊට පාදක වූ ප්‍රමුඛතම කරුණු වූයේ වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩකාරී තර්ජන, ලිංගික හිරිහැර හා වදහිංසා යනාදියයි.
ෆේස්බුක් සමාගම මෙම අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද නීති ඇතුළත් ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම සමාගම නැවත වරක් දැඩි විවේචනයට ලක්ව තිබේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගත නිරීක්ෂණය කිරීම සඳහා සේවකයන් 7,500ක් සිටින අතර ඔවුහු භාෂා 40ක් ආවරණය වන පරිදි කටයුතු කරති.
ආගමික, කලාපීය, සංස්කෘතික හෝ භාෂාවකට හෝ පදනම් නොවී අඛණ්ඩව සහ සාධාරණ ලෙස ෆේස්බුක් ප්‍රජාවට සේවා සපයන බවට පොරොන්දු වුවද සමාගම නිරන්තරයෙන් එසේ කිරීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාව සහ මියන්මාරය යනාදි රටවල ඇති වූ වාර්ගික ගැටුම්වලට උල්පන්දම් දෙන සහ ප්‍රචණ්ඩත්වය වපුරන අන්තර්ගතවලට ප්‍රතිචාර දැක්වීමේදී ෆේස්බුක් සමාගමේ අසමත්කම හා ප්‍රමාදය විස්තර කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා පළ කර තිබිණි.
බොහෝ අවස්ථාවලදී නුසුදුසු සහ ෆේස්බුක් සමාගම අන්තර්ගත සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රමිත, නීති හා රෙගුලාසි යනාදිය උල්ලංඝණය කරන ආකාරයේ අන්තර්ගත සම්බන්ධයෙන් ෆේස්බුක් භාවිත කරන්නන් පැමිණිලි කළද ඒවා කිසිදු බාධාවකින් තොරව ඒ ආකාරයෙන්ම පැවැතුණි.