Facebook ආයතනය ශ්‍රී ලාංකිකයන්ගෙන් උපකාර ඉල්ලයි..!
ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළකෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සදහා උපකාර කරන ලෙසට ෆෙස්බුක් සමාගම තමන්ගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක් පවසනවා.
යුධන්ජය විජේරත්න, සංජන හත්තොටුව සහ තමන් සමග ඊයේ උදෑසන ෆෙස්බුක් නියෝජිතයන් තිදෙනකු සමග පැවති සමූහ දුරකථන සංවාදයකදී එම ඉල්ලීම කළ බවයි සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
“එතෙන්දි ෆේස්බුක් වේදිකාව මහජන යහපතට, පොදු උන්නතියට භාවිත කිරීමේ ලොකු උනන්දුවක් තිබෙන අප තිදෙනා ස්වේච්ඡාවෙන්ම කැමති වුනා එවැනි කර්තව්‍යයක් සඳහා අපට දිය හැකි සහයෝගය දෙන්නට,” යනුවෙන් නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
“ඒ කියන්නේ දැනට තියන යම් යම් අඩු පාඩු මග හරවාගෙන, ඉදිරියේදී වෛරී ප්‍රකාශ ඉක්මනින් හඳුනා ගන්නට, ඒ පිළිබඳ ෆේස්බුක් පරිපාලනයට වාර්තා කරන්නට වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් බිහි කරන්නට උදව් වෙනවා කියල අපි කිව්වා.”
කෙසේ වුවත් වෛරී ප්‍රකාශන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවල සමාගමේ ප්‍රතිචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව යුධන්ජය විජේරත්න, සංජන හත්තොටුව සහ තමන් ෆේස්බුක් සමාගමට පෙන්වා දුන් බව පවසන නාලක ගුණවර්ධන “එහි අඩු පාඩු සිදු වී ඇති බව ඔවුනුත් පිළිගත්තා” යනුවෙන් ද සඳහන් කළේය.
ඒ අනුව මහජන යහපත වෙනුවෙන් ලබා දිය හැකි සහයෝගය ලබාදෙන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.