ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

බංග්ලාදේශ ප්‍රචණ්ඩ හැසිරීම් ගැන ICCයෙන් විශේෂ පරීක්ෂණයක්

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (16) පැවැති තරඟය අතරතුර මෙන්ම  තරඟයෙන් අනතුරුව ඇති වූ  කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තරඟයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන් රැදී සිටි විවේකාගාරයේ දේපලවලට අලාභ හානි සිදු කළ බවටයි වාර්තා වූයේ.

මෙම සිද්ධි සම්බන්ධයෙන් තරඟ තීරකවරයා මගින්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

අවසන් ඕවරයේ පළමු පන්දුවට ලකුණක් ලබා නොගත් අතර දෙවැනි පන්දුවේදී මුසටෆිසුර් රෙහෙමාන් දුවද්දී දැවී ගියේය. එහෙත් රෙහෙමාන් දැවීයාමට පෙර මුහුණ දුන් පන්දුව ඉණට ඉහළින් ගිය නිපන්දුවක් යයි කියමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටියට බැස අරගල කළහ. මෙම අවස්ථාවේදී දෙපිලේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරු වන ආකරය දැකගත හැකිවිය.

මෙම අවස්ථාවේදී සකිබ් අල් හසන් ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණ බංග්ලාදේශ පිතිකරුවන්ට තරගය නවතා ආපසු ක්‍රීඩාගාරයට එන්න’යි කීවද ඊට එකඟ නොවූ කාලිඞ් මහමුද් නැවත ගිහින් ක්‍රීඩා කරන්න යයි මහමදුල්ලාට සහ රුබෙල් හොසේන්ට කීහ. ආපසු පිටියට ගිය මහමදුල්ලා අනතුරුව මුහුණ දුන් පන්දු තුන හමුවේ ලකුණු 4ක්, 2ක් සහ 6 ක් ලෙස ලබාගනිමින් සිය කණ්ඩයම තරගාවලියේ අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගියේය.

තරගය අවසන් වීමෙන් පසුවද බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ඇණුම්පද වලින් ඇවිස්සුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පවා උණුසුම් වදන් වලින් ප්‍රතිචාර දැක්වූහ. මෙම අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ගේ කරට අත දමාගෙන ආ ටමීම් ඉක්බාල් තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගත්තේය.

ජයග්‍රහණයෙන් පසුව පිටිය මැදට වී ‘නාග කන්‍යා’ නර්තනයෙන් ජයග්‍රහණය සැමරූ බංග්ලාදේශ පිලේ නායක මහමදුල්ලා ක්‍රීඩාංගණයෙන් ඉවතට පැමිණියේ තමන්ගේම සගයකු වූ නුරුල් හසන්ට තදින් බැණවදිමිනි. නුරුල් හසන් එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ මුහුණට ඇඟිල්ල දිගු කරමින් ඔහුට බැණවැදුණු ආකාරයෙන්ම සිය නායකයාගෙන් ‘ලුණ ඇඹුල් ඇතිව’ අසාගැනීමට නුරුල් හසන්ට සිදුවිය.

කෙසේ වෙතත් මෙම තරගයේ අවසන් ඕවරයේ සහ ඉන් පසු හැසිරීම සම්බන්ධයෙන් ක්‍රීඩයන් කිහිප දෙනකුටම විනය පරීක්‍ෂණ වලට මුහුණ දීමට සිදුවනු නිසැකය.

මේ අතර ඊයේ සිද්ධිය පිළිබඳශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය ද  බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබෙනවා.