චීනය ඇමරිකාව දූෂණය කරනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට එම පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා දැන් පැවැත්වෙන මූලික තරඟවල දී ඉදිරියෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර සිය ඉලක්කය කර ගෙන තිබෙන්නේ චීනයයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචනයෙන් සඳහන් කරන්නේ නම් ඔහු චීනය විවේචනයට ලක් කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ‘දූෂණය’ කරන බවටයි.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්ව සටනේ ඉදිරියෙන් සිටින්නා එම වාග් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ‘ඉන්දියානා’ ප්‍රාන්තයේ පැවැත්වුන සිය ප්රචාරක රැළියක් අමතමිනි.
ලෝක ඉතිහාසයේ මහා සොරකම පෙරට ගෙන යමින් සිටින බවට චීනයට චෝදනා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ‘එය දිගටම කර ගෙන යාමට ඉඩ දිය නොහැකි’ බවයි.
දිගින් දිගටම චීනයට චෝදනා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ‘බේජිං පාලනය ඔවුන්ගේ අපනයන වඩාත් තරඟකාරී මට්ටමින් පවත්වා ගැනීම සඳහා සිය ව්‍යවහාර මුදලේ අගය අනිසි මට්ටමින් පාවිච්චි කරන’ බවයි කියා සිටියේ.
එවැනි ක්‍රියාමාර්ග නිසා එක්සත් ජනපද ආර්ථිකයට ඉතා හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වී ඇති බවත් ඔහු පවසයි.