සාරිපොටේ ගිනස් වාර්තාවට මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් දැඩි තීරණයක්
මංගල උත්සවයකදී දිගම ඔසරිපොට සහිත සාරිය ඇද ගිනස් වාර්තාවක් තැබීම සඳහා පාසල් ළමයින් 250 දෙනෙකු යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසනවා. නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළේ ඊට අදාළ කරුණු විමසීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ලබන සඳුදා දින ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඇති බවයි.
මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයේදී ඊට සහභාගී කර ගනු ලැබූ ළමයින් හිංසනයට ලක් කළ බවට ලද පැමිණීල්ලක් මත ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් යොදවන ලද අධ්‍යාපන බලධාරින් සමඟ ද මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
මේ අතර, අදාළ සිද්ධියට පාසල් කාලය තුළ සිසුන් සහභාගී කරවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවන් ලබා දෙන ලෙසට විෂයභාර අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලය සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය නොවන පාසලක් වන අතර එය මධ්‍යප පළාත් සභාව යටතේ පවතින්නක්. කෙසේ වෙතත් රේඛීය අමාත්‍යාංශය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන චක්‍රලේඛයන් සියලු පාසල් සඳහා බලාත්මක වන බැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
