ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ
මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රීරෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මගින් පනවනු ලැබ තිබේ. මෙය ත්‍රීරෝද රථ සඳහා නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් මගින් රජය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව කුලී පදනම මත ධාවනය කෙරෙන සෑම ත්‍රීරෝද රථයකම සියලු අවස්ථාවලදී ක්‍රියාත්මකව පවතින ‘‘ටැක්සි මීටරයක්‘‘ සවි කර තිබිය යුතු බවට අදාළ ගැසට් නිවේදනය මගින් නියෝග කෙරෙන බව සඳහන්ය. එමෙන්ම සෑම ත්‍රීරෝද රථයකම රියදුරු අසුන පිටුපස රථයේ ලියාපදිංචි අංකය, රියදුරුගේ නම, ඔහුගේ ඡායාරූපයක් ආදිය ප්‍රදර්ශනය කළ යුතු බවට ද ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. කුලී ගමනක් යෑමේදී අවම කාලයකින් කෙටිම මාර්ගය ඔස්සේ ත්‍රීරෝද රථය ධාවනය කිරීමට රියදුරු වග බලා ගත යුතු බවට ද එහි සඳහන්ය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද ත්‍රීරෝද රථ රියැදුරාගේ වගකීමක් බවට සඳහන් කර ඇත.
මීට අමතරව කුලී සේවාවන් සඳහා යොදා ගනු ලබන ත්‍රීවීරල් හෙවත් ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් තවත් නියමයන් ගණනාවක් අන්තර්ගත වන පරිදි මෙම ගැසට් නියෝගය සිදුකර තිබේ.