WCI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කිරීමට මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ විසින් පියවර ගෙන ඇත.
මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවටගත් ඇය මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.
මාතර සමුපකාර සමිතියේ සිදුව ඇති රුපියල් බිලියනයකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී වරුණි බෝගහවත්ත විසින් පරිහරණය කරමින් සිටි මෝටර් රථය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇගේ වැටුපට ආසන්න මුදලක් ලීසිං වාරික ලෙස එම මෝටර් රථයට ගෙවන බවද අනාවරණය වී තිබේ.
වරුණි බෝගහවත්තට එරෙහිව නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මතද මූලික පරීක්ෂණයක් සිදුවන බව සඳහන්ය. ඇය මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවයේ නිරතව සිටියදී වූ සිදුවීමක් සම්බන්ධයෙන් එම පරීක්ෂණය පැවැත්වේ.
2025 වසරේ ඇය මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවයේ නිරතව සිටියදී ඇයගේ කාර්යාල කාමරයේ තිබූ ඇයගේ ඡායාරූපයට සුදු මල්මාලයක් දමා පහනක් පත්තුකර තිබුණි. ඇය විසින් ඒ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන්ට පැමිණිලිකර තිබුණේ තමා ස්පා වැටලීමට පියවර ගැනීම හේතුවෙන් මරණ තර්ජනයක් එල්ලවී ඇති බවය. මේ ගැන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අනාවරණයකර ගනු ලබන්නේ පිටස්තර කිසිවෙක් ඇගේ කාර්යාලයට පැමිණ මල්මාලා දමා පහන් පත්තුකර නොමැති බවත් එය ඇගේම වැඩක් බවත්ය. ඇයට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ එබැවිනි.
වරුණි බෝගහවත්තට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා එල්ලවී ද ඇත.