අවසන් සටනට සුදුසුකම් ලබන්න ශ්රී ලංකාවට තීරණාත්මක තරගය අද
පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියේදී එංගලන්තය එක් කඩුල්ලකින් පරාජය කළ පාකිස්තාන පිලේ ජයත් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ ශ්රී ලංකා අපේක්ෂා ශක්තිමත් වූවේය. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්රී ලංකාවට ඉතිරි තරග දෙකෙන් එක් ජයග්රහණයක් ප්රමාණවත්ව ඇති පසුබිමකදී පාකිස්තානය සමඟ තීරණාත්මක තරගයට ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට එක් වේ.
නවතම ලකුණු සටහනට අනුව, පාකිස්තානය අඛණ්ඩව ජයග්රහණ තුනකින් ලකුණු හයක් ලබා පෙරමුණ ගෙන සිටින අතර, ශ්රී ලංකාව තරග දෙකකින් එක් ජයක් වාර්තා කොට ලකුණු දෙකක් ලබා දෙවැනි ස්ථානයේ සිටී. එංගලන්තය තමන් සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ලකුණු සටහනේ පහළම ස්ථානයේ පසුවෙයි.
ශ්රී ලංකාවට අද පැවැත්වෙන පාකිස්තානය සමඟ තරගය හා මේ 29 දා එංගලන්තයට එරෙහිව තරගය ඉතිරිව ඇත. ශ්රී ලංකාව මේ තරග දෙකම පරාජයට පත් වුවහොත්, එංගලන්තය හා ලකුණු සමවී ශුද්ධ ලකුණු අනුපාතය අනුව අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීම තීරණය වේ. මේ වන විට පාකිස්තානය ශුද්ධ ලකුණු අනුපාතය 0.949ක්, ශ්රී ලංකාව -0.348ක් හා එංගලන්තය -0.733ක් රඳවා ඇත.
මේ අතර, ශ්රී ලංකා පිලේ එක් එක් ක්රීඩකයන් තම වගකීම් තේරුම්ගෙන ක්රීඩා කිරීම සතුටුදායක තත්ත්වයක් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පැවසීය.
“එංගලන්තය සමඟ තරගයේදී ඇදහිය නොහැකි තරම් ලකුණු හඹා යාමක් කිරීමට අපට හැකි වුණා. ලකුණු 400කට වැඩි හඹා යාම කිසි විටෙක පහසු දෙයක් නොවේ. එක් එක් ක්රීඩකයා ක්රීඩා කළ ආකාරය ගැන ඇත්තටම සතුටුයි. කණ්ඩායම තුළ ගොඩනැඟුණු සංවාද සමඟ විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා. තරග ආරම්භ වීමට පෙරත් කණ්ඩායම් කතා බහ ගොඩක් සිදු වෙනවා. ඒ වගේම පුහුණුකරු ගැරී කර්ස්ටන් අපි ක්රීඩා කරන ආකාරය ගැන ඉතා පැහැදීමෙන් ඉන්නවා” දසුන් ශානක පැවසීය. එංගලන්ත නායක හැරී බෲක්ට ද්විත්ව ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම තරගයේ ජයග්රාහී ලකුණු සංඛ්යාවක් කරා ගෙන යාමට හැකි වූයේ නම්, ශ්රී ලංකාවටත් එය කළ හැකියාව තිබූ බව ශානක පැවසීය. පාකිස්තානය හා එංගලන්තය අතර තරගයේදී ලකුණු 103කට කඩුලු 6ක් බිඳ වැටී තිබියදී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි ෂඩාබ් ඛාන් තම මංගල ශතකය වාර්තා කරමින් පාකිස්තානය ජය මාවතට රැගෙන යෑම අමතක නොවන තරගයකි.
සටන්කාමි පිතිහරඹයක නිරත වූ ෂඩාබ් ඛාන් පන්දු 96කදී නොදැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත් විය. පිතිකරු ලැයිස්තුවේ අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි හැරිස් රවුෆ් පන්දු 19කට මුහුණ දී නොදැවී ලකුණු 7ක් ලබාගත් අතර, ෂඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් අතර අවසන් කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 89ක සබඳතාවක් ගොඩනැඟුණි.
මෙය එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු හඹා ගොස් ජයගත් තරගයකදී 10වන කඩුල්ල වෙනුවෙන් වන හොඳම සබඳතාව විය. මෙහිදී ෂඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් විසින් වසර 51ක් පැරණි වාර්තාවක් බිඳහෙළනු ලැබීම විශේෂත්වයකි.
1975 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ඩෙරික් මරේ සහ ඇන්ඩි රොබට්ස් විසින් නොදැවී ලකුණු 64ක් රැස් කරමින් තැබූ වාර්තාව ෂඩාබ් සහ හැරිස් බිඳ දැමූහ.
එංගලන්තය ඕවර 46.4කදී සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබාගත් අතර, පාකිස්තානය ඕවර 47.3 කදී කඩුලු 9කට ලකුණු 243ක් ලබා ජයග්රහණය වාර්තා කළේය.
පාකිස්තානය 34 වැනි ඕවරයේදී කඩුලු 9ක් දැවී ලකුණු 154ක් ලබා සිටි අතර, නැවත නැඟිටීමක් පිළිබඳ බලාපොරොත්තු තබා නොතිබුණි. කෙසේ වෙතත්, ෂඩාබ්ගේ විශිෂ්ට ඉනිමෙන් සියල්ල වෙනස් විය.