කොග්ගලදී සිසුන් අනතුරේ හෙළූ බස් රථයේ බලපත්රය අහෝසි කෙරේ!
කොග්ගල මාර්ටින් වික්රමසිංහ ජන කලා කෞතුකාගාරය අසලදී සිසුන් පිරිසක් රැගත් බස් රථයක් අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට දමා අනතුරක් සිදු කළ බස් රථයේ ප්රවාහන බලපත්රය අහෝසි කිරීමට බස්නාහිර පළාත් මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ වන විට බස් රථයේ ධාවන බලපත්රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර පොලිස් හා අධිකරණ ක්රියාමාර්ගවලට අමතරව බස්නාහිර පළාත් මගී ප්රවාහන අධිකාරිය මඟින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා ‘දිනමිණ’ට පැවසුවේය.
මේ අතර අපරික්ෂාකාරී රියැදුරාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කරයි.
දුම්රියක් මාර්ගයේ ගමන් කරන බවට සංඥා නිකුත් කර තිබියදීත්, දුම්රියක් ධාවනය වන බැවින් බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය නොකරන ලෙස බස් රථයේ සිටි පිරිස් මෙන්ම අවට පිරිස්ද කෑගසා කියද්දීත්, වගකීම් විරහිතව අපරික්ෂාකාරීව බස් රථය දුම්රිය හරස් මාර්ගයට දැමූ රියැදුරාට එරෙහිව දණ්ඩ නීති සංග්රහයේ 298 වගන්තිය ප්රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය.
මෙහිදී රියැදුරා අධිකරණය හමුවේ වරදකරු වුවහොත් වසර 05ක් දක්වා සිර දඬුවමකට යටත් කළ හැකි බව පොලීසිය කියයි.
මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි සිසුහු 13 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ. අනතුර වන විට සිසුන් 41 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු සහ මාපියන් 06 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
දුම්රියේ ගැටී ඇත්තේ බස් රථයේ පිටුපස කොටසය. බඳ කොටස වැදුණි නම් ජීවිත රැසක් අහිමි වීමට ඉඩ තිබුණු බව පොලීසිය කියයි.
මෙම අනතුර සිදුවන විට දුම්රියද එතරම් වේගයකින් ධාවනය වී නැත. බස් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටී කැඩී ගොස් ඇත. පිටුපස ආසනවල සිටි දරුවන් කිහිප දෙනෙකු බස් රථයෙන් ඉවතට විසි වී ඇති බවද පොලීසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර හබරාදූව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.