හෙල්මට් කම්හල මුළුමනින්ම විනාශයි – හෝමාගම ගින්නෙන් මරණ පහයි
හෝමාගම, කටුවන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (21) පෙරවරුවේ සිට හට ගත් ගින්නක් හේතුවෙන් එහි සේවකයන් පස් දෙනකු අධික ලෙස පිලිස්සී මිය ගොස් ඇති අතර ගින්නට හේතුව සොයා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගිනි අංශයේ විශේෂඥයන් පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලීසිය පවසයි.ගින්න හට ගැනීමත් සමඟ මුළු ප්‍රදේශයම කළු දුමාරයකින් වැසි ගිය අතර දුමාරය ආඝ්‍රාණය වීමෙන් සංකූලතා ඇති වූ සේවකයන් තිදෙනකුද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එම ගින්න කර්මාන්ත ශාලාවේ පළමු මහලේ ඇති වී පසුව අනෙකුත් මහල් කරා පැතිර ගොස් ඇත. ගින්න ව්‍යාප්ත වීමට බලපා ඇත්තේ හිස් වැසුම් නිෂ්පාදනයට යොදා ගන්නා ඇට වර්ගයකට සහ රසායනික ද්‍රව්‍යයකට ගිනි ඇවිළීම නිසා බව දැනට සිදු කර ඇති මූලික පරීක්ෂණවලදි පෙනී ගොස් තිබේ.
කර්මාන්ත ශාලාව ගිනි ගැනීමෙන් පසුව එහි සේවකයන් බොහෝ දෙනකු පිටතට පැමිණ ඇති අතර ඉන් පිටවීමට නොහැකි වූ සේවකයන් මෙලෙස ගින්නට හසුව ඇතැයි පැවසේ. ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන ඇති අතර එහි තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක්ද විනාශයට පත්ව තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේදී සේවකයන් අසූවකට ආසන්න ප්‍රමාණයක් සේවය කර ඇති අතර ඉන් පස් දෙනෙකු ගින්නට හසු වී හඳුනාගත නොහැකි තරමටම පිලිස්සි මියගොස් තිබූ අතර ඔවුන්ගේ අනන්‍යතාවය පවා එක්වරම අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පොලීසිය පවසයි. කර්මාන්තපුරයක් පිහිටි මෙම ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වුවහොත් එම ගිනි ගැනීම් වහාම නිවා දැමීමට ගිනි නිවීමේ සේවා අංශයක් නොතිබීමද ගින්න ව්‍යාප්ත වීමට මුල්වී තිබේ. ගින්න මැඬ පැවැත්වීම සඳහා කැඳවා ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවාවත් කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවාවත් පමණි. කෝට්ටේ ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ගින්න උදෑසන 9.45ට පමණ හටගෙන ඇති බවය. සිය පාලක මැදිරියට ඒ ගැන තොරතුරු ලැබුණේ උදෑසන 10.30ට පමණ බව ද ඔහු කීය. ඉතා ඉක්මනින් තම කණ්ඩායම පැමිණ ගින්න මැඬලීමට උත්සහ ගත්තද එය තදින් පැතිර තිබුණු බව ඔහු පැවසීය.
ඉහළ මහලේ තිදෙනෙක් කොටුවී ඇති බව පැවසූ බැවින් මුලින්ම එම ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛතාව දුන් බවද ඔහු සඳහන් කළේය. ඒහෙත් ගින්න දරුණුවට පැවතීමත් ඉහළ මහලය කඩා වැටීම නිසාත් ඒ තැනට කිට්ටුවීම පහසු කටයුත්තක් නොවූ බවද ඒම නිලධාරියා කීය. ගින්න මැඩ පවත්වමින් ඒම ස්ථානයට ළඟාවූ විට දැක ගන්නට ලැබුණේ තිදෙනෙක් වෙනුවට 05 දෙනෙකුගේ සිරුරු බවද ඔහු පැවසීය. ඒ අයගෙන් 03 දෙනෙක් හඳුනා ගැනීමට නොහැකි ලෙස පිලිස්සී ඇති බවද එම නිලධාරියා කීය. මෙම ගින්න හටගත් ප්‍රදේශයේ මාර්ගය අසල තිබූ ගස් පවා ගින්නට හසුවී තිබූ අතර ප්‍රදේශයේ විදුලියද විසන්ධිවී තිබූ අතර ගිනිගත් කර්මාන්ත ශාලාවේ ඉහළ මහලට පිටතින් ප්‍රවේශ වීම සඳහා විදුලි බල මණ්ඩලයේ සේවක කණ්ඩායම් පැමිණ විදුලි රැහැන් කපා දැමීමද සිදු කළහ.
සිද්ධිය වූ ස්ථානය හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.
ගින්න හට ගැනීමට හේතුව සහ පුද්ගලයන් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකවල නිලධාරීන්ට අමතරව යුද හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීහුද එක්ව සිටියහ. ගිනි නිවන රථ 6ක් මේ ස්ථානයට පැමිණ තිබූ අතර ඊයේ (21) සවස් වන විට ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරිණි. මෙහිදී ගින්නට හසු වූ කාන්තාවකද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.