ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බාල වයස්කාර දැරියකට අවමන් කළ  දිලුම් අමුණුගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

බාල වයස්කාර දැරියකට අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතළ වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් ඉල්ලා තිබේ.

අපයෝජන සිදුවීමක වින්දිතයෙකු ලෙස රජයේ රැකවරණයේ සිටින බාල වයස්කාර දැරියක් අවමානයට ලක් කරමින් “සර්ව ජන බලය” නම් දේශපාලන පක්ෂයක ජාතික සංවිධායක ධුරය දරන දිලුම් අමුණුගම යන අය විසින් පසුගිය 20වන දින පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අමාත්‍යංශය වෙත පැමිණිළි ලැබී ඇති අතර, එම ප්‍රකාශයට අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ මේ වන විට ආන්දෝලනයට තුඩු දෙමින් සංසරණය වන බවද නිරීක්ෂණය වී ඇතැයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විමර්ශනයේ පවතින අපයෝජන සිදුවීමකට අදාළ සහ අධිකරණයේ විභාග වන නඩුකරයක සාක්ෂිකරුවෙක් වන එම බාළ වයස්කාර දැරිය ප්‍රසිද්ධ මාධ‍ය හමුවකදී අපහාසත්මක ලෙස විවේචණය කිරීම බරපතළ වාචික හිංසනයක් සහ වින්දිත දරුවෙකු අගතියට පත්කරවන ක්‍රියාවක් බවත් වැඩිදුරටත් නිරීක්ෂණයවන බව අදාළ නිවේදනයේ සඳහන් කෙරේ.

අදාළ දරුවා මේ වන විට රජයේ රැකවරණ ලාභියෙකු ලෙස වෛද්‍ය අධීක්ෂනය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධීක්ෂනය යටතේ සිටින දරුවෙකු වන බැවින් මෙම සිදුවීම විමර්ශනය කර නීතියේ පවතින ප්‍රතිපාදන මත කඩිනම් ක්‍රියාමාර්ග ලබා ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු කර ඇත.

එසේම අදාළ දැරිය නැවත නැවත වින්දිතභාවයට පත්වීම වැළක්වීම උදෙසා මෙම වීඩියෝ පඨය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම වැළැක්වීමට කටයුතු කරන මෙන් සියලු මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටී.