ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

තමිල්නාඩු මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගත් තලපති විජේට විශිෂ්ඨ ජයක්

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.

දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK සහ සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.

මේ අතර, TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.

විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද පැවසේ.

2024 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිට විජේ අනුගමනය කළේ සුවිශේෂී ප්‍රචාරණ උපක්‍රමයකි.

ඔහු DMK පක්ෂය සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙසත්, BJP පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රතිවාදිය ලෙසත් නම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇත.‍

මෙම උපක්‍රමය හරහා තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිස් ද ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

චෙන්නායි කලාපය ඇතුළු නාගරික ප්‍රදේශවල විශිෂ්ට ජයක් අත්කර ගැනීමට TVK පක්ෂය සමත්ව ඇති අතර AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවලද සිය බලය තහවුරු කර ගැනීමට සමත් ව තිබේ.

කෙසේවෙතත් TVK පක්ෂයේ ජයග්‍රහණයට ප්‍රධානම සහ තීරණාත්මක සාධකය වූයේ විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.