එන වසරේදී කොළඹට විදුලි දුම්රියක්
- මරදාන-මාකුඹුර
- කොටුව-රාගම
- කොටුව-පානදුර
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැති අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පාණදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලසුම්, මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමටද තීරණය කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.