ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම: චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගයේදී අභියාචනාධිකරණයේ ඊයේ (27) සිදුවුයේ කුමක්ද?

වැඩතහනමට ලක් වී සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඊයේ (27) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අතර, එහි දී ගරු කතානායකතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන් මහතා පෙනී සිටි අතර, නඩුව කරුණු තහවුරු කිරීම සදහා 2026 ජූනි මස 02 දිනට නියම කරනු ලැබුණි.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් සමතයක් නොමැති බව කතානායකවරයා වෙනුවෙන් අධිකරණයට දන්වා සිටින ලද අතර, අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය අනිල් ජයන්ත වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් විසින් අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් නගන බව නැවත අවධාරණය කරන ලද බව වාර්තා වේ.

තවත් වගඋත්තරකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටි අතර ඔහු මීට නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ඔහු නගන මූලික විරෝධතාවය පිළිබද කරුණු දක්වා තිබුණි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ද සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් හංස අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙර ද සොයිසා මහතා පෙනී සිටි අතර, මින් පෙර අවස්ථාවෙ දී කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාගේ සේවය ලබා ගෙන තිබුණ ද ඊයේ දින කතානායකරයා විසින් ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන් මහතාගේ සේවය ලබා ගෙන තිබුණි.

චමින්ද කුලරත්නට ඇති චෝදනාව කුමක් ද?

චමින්ද කුලරත්නට (ජී.කේ.ඒ.සී.කේ. කුලරත්න) එල්ල වී ඇති චෝදනා වන්නේ, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් නොමග යැවීමට උත්සහ කිරීම හා එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් මට්ටමට වඩා ඉහළ වැටුප් තලයකට අයත් වැටුප් ලබා ගැනීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම යන චෝදනා ය.

එමෙන් ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටියක රීතිවලට පටහැනිව කටයුතු කිරීම වැනි බරපතළ වැරදි සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය මගින් චමින්ද කුලරත්නගේ රාජකාරී වැඩ තහනම් කරමින් ඔහුට දැනුම් දී තිබේ.

ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ, 2026 ජනවාරි 23 වන දා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේක කාරක සභාව විසින් ගන්නා ලද තීරණයකට අනුව ය.

එම උපදේශක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන්නේ කතානායකවරයා, සභානායක, විපක්ෂනායක හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා යි.

ඒ අනුව, රාජකාරී වැඩ තහනම්ව සිටින කාලසීමාව තුළ චමින්ද කුලරත්නට කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොගෙවන අතර මෙම කාලසීමාව තුළ ඔහුට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට අවසර හිමි නොවනු ඇත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (ජනවාරි 27 වැනිදා) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, 2025 අගොස්තු 19 වැනිදා මෙම කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමට ඒකපුද්ගල විමර්ශන කමිටුවක් පත් කළ බවයි.

ඒ අනුව ජනවාරි 23 වැනිදා එහි මූලික විමර්ශන වාර්තාව නිකුත් වූ බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, විනය ක්‍රියාමාර්ගයට හෝ මූලික විමර්ශන වාර්තාවට එරෙහිව ඕනෑම අයෙකුට අධිකරණය වෙත යාමට හැකියාව පවතින බවයි.

නීතිඥ එස්.කේ. ලියනගේ දුන් වාර්තාවේ නිර්දේශ

කෙසේ වෙතත්, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන නිලධාරී ලෙස කටයුතු කළ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ විශ්‍රාමික අතිරේක ලේකම් නීතිඥ එස්.කේ. ලියනගේ විසින් ලබා දෙන ලද වාර්තාවේ නිර්දේශ පදනම් කර ගෙන ය.

එම විමර්ශන වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ, චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ය.

ඒ, සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම් ලබා ගැනීම හා එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම හා තමාට හිමි නැති වැටුප් තලයක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයථා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභ සිදු කරන ලදැයි විමර්ශනයේදී අනාවරණය වූ බව කියන කරුණු අනුව ය.

චමින්ද කුලරත්නගේ පත්වීම හා ඔහුගේ සේවය ස්ථීර කිරීමේදී ඇතැම් නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය ගැන ද දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරමින්, විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටත් මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

එමෙන් ම චමින්ද කුලරත්න සමග දුස්සන්ධානගතව ඔහුට අයථා වාසි අත්කර දීමට තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද කටයුතු කරමින් බරපතළ විෂමාචාරයන් කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව එම නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිඥ එස්.කේ. ලියනගේ ඉදිරියේදී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාළ වාර්තාව සකස් කිරීම සඳහා චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.