මොකද්ද මේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ නඩු හබය! අභියාචනාධිකරණයේ සිදුවුයේ කුමක්ද?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නවා මහ ලේකම් කෙනෙක්. වර්තමානයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දරන්නේ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය. වත්මන් ආණ්ඩුව පත් වෙන්න පෙර සිට ම පාර්ලිමේන්තු මහ ලේකම් තනතුරට පත් වෙලා හිටපු කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නීති අධ්‍යක්ෂක විදියට කටයුතු කල හරිගුප්ත රෝහණධීර මහත්මයාගේ බිරිඳ. ඇය 2012 දී මහින්ද රාජපක්ෂ පාලන කාලය තුලදී සහකාර මහලේකම් ලෙසත්, 2020 දී ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුලදී නියෝජ්‍ය මහලේකම් ලෙසත් පත් වෙලා, හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහකා 2023 මැයි මාසේ විශ්‍රාම යෑමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම් තනතුරට පත්වෙනවා.
පාර්ලිමේන්තුවේ දෙවැනියා ඒ කියන්නෙ නියෝජ්‍ය මහලේකම් විදියට හිටියේ දැනට වැඩ තහනමට ලක්වෙලා ඉන්නා චමින්ද කුලරත්න.
තුන්වැනියට ඉන්නෙ, සහකාර මහලේකම් හංස අබේරත්න. හංස අබේරත්න කියන්නෙ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ පුත්‍රයා. හංස අබේරත්න නීතිපති දෙපාර්තුමේන්තුවේ සේවය කරල 2023 මාර්තු මාසයේ දී මේ තනතුරට පත්වෙන්නෙ.
වැඩතහනමට ලක්වෙලා ඉන්න චමින්ද කුලරත්න මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ 2005 නොවැම්බර් ඉඳල 2010 වෙනකල් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ජනාධිපති ලේකම් විදියට දේශපාලන පත්වීමක් ලබනවා. ඊට පසුව 2010 අගොස්තු ඉදල 2013 වර්ෂය වෙනකල් රාජපක්ෂ ආණ්ඩු විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තනතුරකටත් පත් කරල තිබුණ අයෙක්. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 ජනවාරි ඡන්දය පරදින කල්, චමින්ද කුලරත්න නැවත ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ සහකාර ලේකම් විදියට කටයුතු කළා.
චමින්ද කුලරත්න මහතා නැවත කරළියට එන්නෙ, දින 52 ආණ්ඩු කාලයේ. දින 52 ආණ්ඩුවේ නැවත මහින්ද රාජපක්ෂ අගමැති විදියට පත් වුණහම, චමින්ද කුලරත්න අගමැති කාර්යාලයේ ජේෂ්ඨ සහකාර ලේකම් විදියට පත් වීම් ලැබුවා. පස්සේ 2019 පෙබරවාරි මාසේ චමින්ද කුලරත්න විපක්ෂ නායක කාර්යාලයේ අතිරේක ලේකම් විදියට පත්වීම් ලබනවා. 2019 නොවැම්බර් මාසේ මහින්ද රාජපක්ෂ අගමැති වු විට චමින්ද කුලරත්න අගමැතිගේ අතිරේක ලේකම් තනතුරට පත්වීම් ලබනවා. පසුව ඔහු 2023 සැප්තම්බර් වෙනකල් ජනාධිපති අතිරේක ලේකම් කෙනෙක් විදියට පත්වීම් ලබල තිබෙනවා. මේ අතරවාරේ ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායකගේ ලේකම් විදියට පත්වීම් ලබනවා. මේ සියලු පත්වීම් හරහා මොහු කුමන දේශපාලන කදවුර නියෝජනය කලේද සහ කවුරුන් වෙනුවෙන් සේවය කලේද යන්න මනාව තහවුරු වේ.
ඔහුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යය මණ්ඩල ප්‍රධානී විදියට පත් කරන්නේ, 2023 අවුරුද්දේ දී එවකට කතානායක මහින්ද යාපා, අගමැති දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත , ලක්ෂමන් කිරිඇල්ල, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් කුෂාණි රෝහණධීර ඇතුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකින්. ඒ එවකට නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කල කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් තනතුරට පත්වීමෙන් පසුවයි.
දැන් ඔහුව වැඩ තහනමට ලක්වෙන්නෙ, වර්තමාන රජය පත්වුණාට පසුව, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කාරක සභාව විසින් මූලික විමර්ශන නිලධාරියෙකු ලෙස පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ විශ්‍රාමික අතිරේක ලේකම් නීතිඥ එස්.කේ. ලියනගේ පත් කරල දීර්ඝ මූලික විමර්ශනයක් තියල එම විමර්ශනයේ වාර්තාවේ නිර්දේශ අනුව. එම විමර්ශන වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ, චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ය.
චමින්ද කුලරත්නට ඇති චෝදනාව කුමක් ද?
සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම් ලබා ගැනීම හා එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම හා තමාට හිමි නැති වැටුප් තලයක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයථා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභ සිදු කරන ලදැයි විමර්ශනයේදී අනාවරණය වූ බව කියන කරුණු අනුව ය.
චමින්ද කුලරත්නගේ පත්වීම හා ඔහුගේ සේවය ස්ථීර කිරීමේදී ඇතැම් නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය ගැන ද දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරමින්, විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටත් මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
එමෙන් ම චමින්ද කුලරත්න සමග දුස්සන්ධානගතව ඔහුට අයථා වාසි අත්කර දීමට තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද කටයුතු කරමින් බරපතළ විෂමාචාරයන් කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත. අදාළ වාර්තාව සකස් කිරීම සඳහා චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.
ඒ අනුව එම නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිඥ එස්.කේ. ලියනගේ ඉදිරියේදී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ, 2026 ජනවාරි 23 වන දා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේක කාරක සභාව විසින් ගන්නා ලද තීරණයකට අනුව ය. එම උපදේශක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන්නේ කතානායකවරයා, සභානායක, විපක්ෂනායක හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා යි.
ඒ අනුව, රාජකාරී වැඩ තහනම්ව සිටින කාලසීමාව තුළ චමින්ද කුලරත්නට කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොගෙවන අතර මෙම කාලසීමාව තුළ ඔහුට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට අවසර හිමි නොවනු ඇත.
ඉතිං ඒ වැඩතහනම් කිරීම අභියෝග කර චමින්ද කුලරත්න දැන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරල තියෙනවා. නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගයේදී ඊයේ (27) සිදුවුයේ කුමක්ද?
මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.
ඒ වැඩතහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීය.
එහෙත් ඊයේ (27) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටි අතර කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය. තමන් සමතයකට පත්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් ශ්රේෂ්ඨාධිකරණටය දැනුම් දෙනු ලැබීය.
සභානායක බිමල් රත්නායක සහ ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන සහ නීතිඥ නයිජල් හැච්, අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් නගන බව නැවත අවධාරණය කර ඇත. තවත් වගඋත්තරකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිට ඇති අතර ඔහු මීට, නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ඔහු නගන මූලික විරෝධතාවය පිළිබද කරුණු දක්වා තිබිණි. පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවාද සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් හංස අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙරද සොයිසාද පෙනී සිටින ලදි.
මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා 2026 ජූනි මස 02 දින කැඳවීමට නියම කර ඇත.