ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මිනුවන්‌ගොඩ වැටලීමකදී ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ නිවාරණ හා විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකු අනාවරණය කරගත් තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ  (27)  දහවල් මිනුවන්ගොඩ පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා ටී-56 වර්ගයේ ගිනි අවියකට යෙදිය හැකි උණ්ඩ 25 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම රාගම පොලිස් වසමේ කිරිමැටියාන ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබූ කාර් රථයක් තුල තිබී 2025.12.23 දින පොලිස් භාරයට ගත් ටී-56 ගිනි අවිය සහ පතරොම් 44 ට අදාලව එම කාර් රථය අත්හැර රියදුරු 2025.12.26 දින වත්තල, හුණුපිටිය, දික්පිටිය පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර ඒ්කකයට හැකි විය.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරකට අනුව හෙරායින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 65 ක් සන්තකයේ තබාගෙන සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් මගින් එදින ටී-56 අවියක් සමඟ මනුෂ්‍ය ඝාතනයක් සඳහා කාර් රථය පදවාගෙන පැමිණි රියදුරු ඔහු බව අනාවරණය කරගෙන ඇති අතර යම් හේතූන් මත ඝාතනය ව්‍යර්ථ වීම හේතුවෙන් කාර් රථය අතහැර යාමට සිදුවූ බවත්,නැවත කාර් රථය අසලට පැමිණෙන විට ජනතාව එකරැස් වීමක් සිදුව ඇති බව දැකීමෙන් කාර් රථය අත්හැර පළාගොස් ඇති බවට කරුණු අනාවරනය වී තිබේ.

මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුවෙකුගේ උපදෙස් මත ක්‍රියාකරන වයස අවුරුදු 28 ක් වන වත්තල , හුණුපිටිය ප්‍රදේශයේම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව විමර්ශන මගින් හෙලිදරව් කර ඇත.