ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එප්පාවල හෙරොයින් සිද්ධියේ විදුහල්පතිවරයාට රැඳවුම් නියෝග, බිරිඳ බව කියන පෑලියගොඩ නාගරික මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි

එප්පාවලදී මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන දිස්නා නිරංජලා පෑලියගොඩ නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව ජාතික ජනබලවේගයේ ලේකම් ප්‍රකාශ කරයි.

ඒ අනුව, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

දිස්නා නිරංජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්විය.

කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමට එහා ගිය දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලාගේ ස්වාමි පූරුෂයා බවට වාර්තා පළ වීමත් සමග ය.

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි, මිලිග්‍රෑම් 400ක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විදුහල්පතිවරයා සහ තවත් සැකකරුවෙකු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අධිකරණය අද (නොවැ: 06) අවසර ලබා දුන්නේ ය.

ඒ, සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට අදාළ විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිලධාරින්ට ලබා දෙන ලෙසට සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට තවදුරටත් නියෝග කරනු ලැබුවා ය.

සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ නම් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන දින 7ක කාලයට පෙර විමර්ශන අවසන් වුවහොත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසත්, එලෙස විමර්ශන අවසන් නොවුණහොත් සැකකරුවන් ලබන 12 වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා ය.

මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි.

මෙසේ දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරනුයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල, ඇඳගල, නල්ලමුදාව පාර පදිංචි එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන් දෙදෙනා ය.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ, එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 69 යි මිලිග්‍රෑම් 35ක් සමග අත්අඩංගුවට ගත් එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ නමැති සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදී සැකකාර විදුහල්පතිවරයා හෙරොයින් ජවාරමේ නියැළෙන්නෙකු බවට තොරතුරු අනාවරණය වූ බව ය.

එම තොරතුරු ඔස්සේ මූලික විමර්ශන මෙහෙයවා එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ පිහිටි සැකකාර විදුහල්පතිවරයාට අයත් නිවසක් සහිත හෝටලයක් පරීක්ෂා කර හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400ක් සමග සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ද පැවසූ පොලිසිය, සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දීර්ඝ කාලයක් සිට හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව ද සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුර සහ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේ ය.

සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිතිඥ ෂමින්ද සිල්වා පැවසුවේ, සිය සේවාදායකයා සන්තකයේ හෙරොයින් තිබූ බවට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

දෙපාර්ශවය දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්ච් සැකකරුවන් දෙදෙනා දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසට නියෝග කරමින් ඒ සඳහා පොලිසියට අවසරය ලබා දුන්නා ය.